විදේශීය දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙක් අල්ලයි

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන්තොටුපොළ අප වාර්තාකරු පැවසුවේ රුපියල් ලක්ෂ 15 ක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගත් බවයි.

ගුවන්තොටුපොළේදී සිදු කළ වැටලීම් 02කින් මෙම විදෙස් දුම්වැටි තොගය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පළමු වැටලීමෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඕමානයේ මස්කට් නුවර සිට  ඕමාන ගුවන් සේවයේ ඕ.වී.- 437 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණි කුරුවිට, පරකඩුව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවක නිරත පුද්ගලයෙකි.

ඔහු සිය ගමන් මලුවල බහා රුපියල් අට ලක්ෂ හැට දහසක් වටිනා ‘මැන්චෙස්ටර්’ වර්ගයේ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 8,600 ක් අඩංගු දුම්වැටි කාටූන් 43 ක් රැගෙනවිත් තිබුණා.

දෙවැනි වැටලීමෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (08) ඩුබායි සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8 ඩී 119 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණි කොළඹ 14, නාගලගම් වීදියේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහුගේ ගමන් මලු අතපසු වී (Miss Handle Baggage) ගුවන්තොටුපොළ තුළ දමා ගොස් තිබුණා.

ඔහු එම ගමන් මලු අද (09) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ රැගෙන යමින් සිටියදී ඒවා තුළ සඟවා තිබූ රුපියල් හය ලක්ෂ හතලිස් දහසක් වටිනා ‘මැන්චෙස්ටර්’ වර්ගයේ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 6,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 32ක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.