spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදෙස් වෛද්‍යවරුන්ට බ්‍රිතාන්‍යයේ අවස්ථාවක්

එක්සත් රාජධානියේ සෞඛ්‍ය සේවාව තුළ අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ, ඵලදායී සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාම සඳහා එරට ජනගහණයට ප්‍රමාණවත් සෞඛ්‍ය ‌සේවක පිරිසක් නොසිටීම හේතුවෙන්.

ඒ සඳහා පිළියමක් ලෙස බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් දීර්ඝ කාලීන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇතත්, එම වැඩපිළිවෙළ හරහා බ්‍රිතාන්‍ය තුළ ම සුදුසුකම් ලත් සෞඛ්‍ය සේවකයින් බිහි වීමට 2031 වසර තෙක් බලා සිටීමට සිදුව ඇති බව සඳහන්.

එක්සත් රාජධානිය තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පුරප්පාඩු 110000ක් ඇතැයි එරට ජාතික සෞඛ්‍ය සේවාව පවසනවා. ඒ අනුව, බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවාවේ සෑම තනතුරු 10කින් එකක් පුරප්පාඩු වී ඇති බවයි වාර්තා වන්නේ.

ජාතික සෞඛ්‍ය සේවාව පවසන පරිදි මේ වන විට පූර්ණ කාලීන වෛද්‍යවරුන් 10,855ක හිඟයක් පවතින අතර එය වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාවයෙන් 7.2ක ප්‍රතිශතයක්.

පවතින තත්ත්වය අනුව, එක්සත් රාජධානියේ පුරවැසියන් 1000ක් සඳහා සිටින වෛද්‍යවරුන්ගේ අනුපාතය 3.2ක්. ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන සංවිධානය (OECD) පෙන්වා දෙන්නේ, බටහිර යුරෝපයේ රටවල් අතර ජනගහණයට සාපේක්ෂව අඩු ම වෛද්‍යවරුන් සංඛ්‍යාවක් සිටින රට, එක්සත් රාජධානිය බවයි.

මෙවැනි පසුබිමක් තුළ බ්‍රිතාන්‍යයේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින් කාර්ය බහුලත්වය අධික වීම නිසා වෙනත් රටවල සේවයට යාමේ ප්‍රවණතාවක් ඇති වී ඇතැයි එරට වෛද්‍ය මහා සභාව (The General Medical Council) පවසනවා.

ඒ අනුව, 2022 වසරේදී බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන් 2000ක් එරට අතහැර වෙනත් රටවල සේවයට ගොස් තිබෙනවා.

සෞඛ්‍ය ශ්‍රම බළකාය ඉහළ දැමීමට අනුගමනය කෙරෙන දීර්ඝ කාලීන වැඩපිළිවෙළෙහි ප්‍රතිඵල ලබා ගැනීම සඳහා තවත් දශකයක පමණ කාලයක් ගත වනු ඇති බවයි එක්සත් රාජධානියේ වෛද්‍ය මහා සභාවේ ප්‍රධාන විධායක චාර්ලී මැසී ප්‍රකාශ කළේ.

“ඒ කියන්නේ, අපේ ජනගහනයේ අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය ශ්‍රම බළකාය පවත්වා ගැනීම සඳහා මෑත වසරවලට වඩා විදේශයන්හි පුහුණුව ලැබූ වෛද්‍යවරුන් මත විශ්වාසය තැබීමට අවශ්‍ය වනවා කියන එකයි,” ඔහු කියාසිටියා.

2022 වසරේදී බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවයට බඳවා ගත් වෛද්‍යවරුන්ගෙන් 63%ක් එනම් තුනෙන් දෙකක් විදෙස් රටවල සුදුසුකම් ලැබූ වෛද්‍යවරුන් බව වෛද්‍ය මහා සභාව අනාවරණ කර තිබෙනවා.

2012 වසරේ සිට 2022 වසර දක්වා දශකයක කාලය තුළ වාර්ෂිකව බ්‍රිතාන්‍යයේ සේවයට එක්වූ ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් සංඛ්‍යාව පසුගිය වසර දෙකක කාලය තුළ ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ද සඳහන්.

2012 වසරේ සිට 2020 දක්වා කාලය තුළ බ්‍රිතාන්‍යයේ සේවයට ගිය වෛද්‍යවරුන් සංඛ්‍යාව වසරකට 250කට වඩා අඩු සංඛ්‍යාවක පැවතුණු බව බ්‍රිතාන්‍යයේ වෛද්‍ය මහා සභා වාර්තාව අනුව පෙනී යනවා.

2021 වසරේදී එම සංඛ්‍යාව 400කට ආසන්න අගයක් ගෙන ඇති අතර, 2022 වසරේදී 500 ඉක්මවා තිබෙනවා. එනම්, 2020 වසරට සාපේක්ෂව දෙගුණයක ඉහළ යාමක්.

එමෙන් ම, බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවාවට එක්වූ මූලික වෛද්‍ය සුදුසුකම් සහිත වෛද්‍යවරුන් වැඩි ම සංඛ්‍යාවක් පැමිණි රටවල් 5 අතර ශ්‍රී ලංකාව ද සිටීම විශේෂත්වයක්.

වෛද්‍ය මහා සභා වාර්තාව අනුව එම රටවල් 5 වන්නේ,

ඉන්දියාව (2400)
පකිස්ථානය (2400)
නයිජීරියාව (1700)
ඊජිප්තුව (1200)
ශ්‍රී ලංකාව (550) යන රටවල්.

මේ අතර, 2010 වසර වන විට බ්‍රිතාන්‍යය තුළ ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් 2423 දෙනෙකු ලියාපදංචි වී සිටියා.

ශ්‍රී ලංකාවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන පරිදි 2022 වසරේ ජූනි 01 වන දා සිට 2023 මැයි 31 වන දා දක්වා ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් 1000කට අධික සංඛ්‍යාවක් රට හැර ගොස් තිබෙනවා.

ඒ, සේවයෙන් ඉවත්ව රට හැර ගිය ශ්‍රේණි වෛද්‍යවරුන් 842ක් සහ සේවයෙන් ඉවත්ව රට හැර ගිය විශේෂඥ වෛද්‍යවරුන් 274ක් වශයෙන්.

මේ අතර, පශ්චාත් උපාධි අධ්‍යාපනය සඳහා විදෙස්ගත වූ වෛද්‍යවරුන් නැවත ශ්‍රී ලංකාවට පැමිණ වසර 8ක් ශ්‍රී ලංකාවේ සේවය කළ යුතු වුවත් ඇතැම් වෛද්‍යවරුන් එසේ නොකරන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.

එම අමාත්‍යංශය පවසන්නේ, විදෙස්ගතව අධ්‍යාපනය ලැබූ වෛද්‍යවරුන් 343 දෙනෙකු 2022 වසරේ ජනවාරි මාසයේ සිට 2023 වසරේ ජූලි මාසය දක්වා කාලය තුළ නැවත ශ්‍රී ලංකාවට පැමිණ ඇතත්, ඉන් 120 දෙනෙකු පමණ දැනුම් දීමකින් තොරව රටින් පිටව ගොස් ඇති බවයි.

මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය සඳුදා (13) ඉදිරිපත් කළ අයවැය යෝජනා මාලාවේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සඳහා යෝජනා කිහිපයක් සඳහන් වුණා.

“ශ්‍රී ලංකාවේ වෛද්‍ය පර්යේෂණ ලෝකයේ සෙසු රටවල්වල මට්ටමට ගෙන ඒම සඳහා වෛද්‍ය හා සෞඛ්‍ය පර්යේෂණ සඳහා ආයෝජන වැඩි කිරීමට මා බලාපොරොත්තු වෙනවා. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ යටිතල පහසුකම් හා රසායනාගාර පහසුකම් ශක්තිමත් කිරීමේ මුල් අදියර සඳහා රුපියල් මිලියන 75ක් වෙන් කරනවා,” අයවැය ඉදිරිපත් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

ඊට අමතරව, “වෛද්‍යවරුන්ගේ වෘත්තීයභාවය වැඩිදියුණු කිරීමේ අරමුණින්, 2023 අයවැය මගින් ඉදිරිපත් කළ වෛද්‍යවරුන් සඳහා පශ්චාත් උපාධි අවස්ථා පුළුල් කිරීමේ යෝජනා අනුව දැනට එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන විශ්වවිද්‍යාලවලට අමතරව කැලණිය, ශ්‍රී ජයවර්ධනපුර සහ රජරට විශ්වවිද්‍යාල ද එම වැඩපිළිවෙළට ඇතුළත් කරන, බවයි ඔහු සඳහන් කළේ.

කෙසේ වෙතත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසන්නේ, මෙරට රැඳී සිටින වෛද්‍යවරුන් වැටුප්, නිල නිවාස ඇතුළු ප්‍රශ්න රැසකින් පීඩා විඳින බවයි.

වෛද්‍යවරුන් ශ්‍රී ලංකාවේ රඳවා ගැනීමට අවශ්‍ය නම් ඔවුන් මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබා දීමට රජය පියවර ගත යුතු බව ඔහු ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?