විදෙස් මාධ්‍යයට පාකිස්තානයෙන් නව සීමා

පාකිස්තානය තුළ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර මාධ්‍ය ආයතන සඳහා නව වාර්තාකරණ සීමා පැනවීමට එරට රජය පියවර ගෙන තිබෙනවා.

මෙම නව ක්‍රියාමාර්ගය මාධ්‍ය නිදහසට බරපතළ බලපෑමක් එල්ල කරන බවට මාධ්‍ය සංවිධාන සහ මාධ්‍යවේදීන්ගේ දැඩි විවේචනයට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නව මාර්ගෝපදේශ අනුව, විදෙස් මාධ්‍ය ආයතන සඳහා සේවය කරන සියලුම මාධ්‍යවේදීන්, ඔවුන් පාකිස්තාන ජාතිකයන් වුවද, ඉස්ලාමාබාද්, කරච්චි සහ ලාහෝර් නගරවලින් පිටත ප්‍රදේශයක වාර්තාකරණ කටයුතුවල නිරත වීමට පෙර පූර්ව අනුමැතිය ලබාගත යුතුයි.

මේ හේතුවෙන් පාකිස්තානයේ බොහෝ ප්‍රදේශවල ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකරණය බලධාරීන්ගේ අභිමතය සහ අවසර ලබාදෙන කාලය මත රඳා පවතිනු ඇතැයි විචාරකයෝ පෙන්වා දෙනවා.

මේ වන විට ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයේ රටවල් 180ක් අතරින් පාකිස්තානය පසුවන්නේ 153 වැනි ස්ථානයේයි.

දේශපාලන විශ්ලේෂක මුස්තාෆා නවාස් කොකාර් පවසන්නේ මෙම මාර්ගෝපදේශ මගින් ජාත්‍යන්තර මාධ්‍යයට පවතින සීමිත ඉඩකඩ තවත් සංකෝචනය වන බවයි. ජනතාව ස්වාධීන තොරතුරු සඳහා ජාත්‍යන්තර මාධ්‍ය කෙරෙහි විශ්වාසය තබන බැවින්, මෙවැනි සීමා කිරීම් ව්‍යාජ තොරතුරු සහ අසත්‍ය ප්‍රචාර ව්‍යාප්ත වීමට ඉඩ සලසන බවද ඔහු සඳහන් කරනවා.

කෙසේ වෙතත් පාකිස්තාන රජය පවසන්නේ මෙම මාර්ගෝපදේශ මාධ්‍ය මර්දනය කිරීම සඳහා නොව, විදෙස් මාධ්‍ය නියෝජිතයන්ගේ තොරතුරු තහවුරු කිරීම, ඔවුන්ගේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සහ වාර්තාකරණයට අවශ්‍ය පරිපාලන ක්‍රමවේදයක් සැපයීම සඳහා හඳුන්වා දුන් බවයි.

කෙසේ වෙතත් NOC අනුමැතියක් ලබාගැනීමට ගතවන කාලය පිළිබඳ කිසිදු නිශ්චිත කාලසීමාවක් නව මාර්ගෝපදේශවල සඳහන් කර නැහැ.

දැනටත් විදෙස් මාධ්‍යවේදීන්ට එවැනි අවසර ලබාගැනීම සඳහා මාස ගණනක් බලා සිටීමට සිදුවන අතර, ඇතැම් අවස්ථාවල කිසිදු පිළිතුරක් නොලැබෙන බවද වාර්තා වනවා.

මේ හේතුවෙන් බොහෝ ජාත්‍යන්තර මාධ්‍ය ආයතන පෙෂාවර් සහ ක්වෙටා වැනි නගරවල සිටින පාකිස්තාන මාධ්‍යවේදීන් සහ නිදහස් මාධ්‍යවේදීන් මත තොරතුරු තහවුරු කිරීම සඳහා රඳා සිටියහ. එහෙත් නව නීති අනුව එවැනි නිදහස් මාධ්‍යවේදීන්ට ද ඉහත නගර තුනෙන් පිටත වාර්තාකරණයට අවසරයක් ලබාගැනීම අනිවාර්ය වී තිබෙනවා.

නව මාර්ගෝපදේශවල තවත් විධිවිධානයක් අනුව, “පාකිස්තානයේ දෘෂ්ටිවාදයට, ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට හෝ මහජන සාමය හානිකර” ක්‍රියාකාරකම්වල නිරත වන මාධ්‍යවේදීන්ගේ ජනමාධ්‍ය හැඳුනුම්පත් අහෝසි කළ හැකියි.

එහෙත් මෙම වගන්තිය ඉතා අපැහැදිලි බවත්, එය කෙසේ අර්ථකථනය කරනු ඇත්දැයි ගැටලු පවතින බවත් විචාරකයෝ පෙන්වා දෙනවා.

මේ අතර ජාත්‍යන්තර මාධ්‍යවේදීන් පිරිසක් සහ පාකිස්තාන ෆෙඩරල් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා මෙම ගැටලුව සම්බන්ධයෙන් තොරතුරු අමාත්‍යවරයා හමුවී සාකච්ඡා කිරීමට සූදානම් වෙමින් සිටිනවා.

නව සීමා විශේෂයෙන්ම පාකිස්තානය පාලනය කරන කාශ්මීර ප්‍රදේශයේ වාර්තාකරණයට බලපා ඇති අතර, එම ප්‍රදේශයේ සිටින සියලුම විදෙස් මාධ්‍යවේදීන් වහාම ඉවත් වී අවසර ලබාගන්නා ලෙස බලධාරීන් වට්ස්ඇප් පණිවුඩයක් මගින් දැනුම් දී තිබෙනවා.

එම ප්‍රදේශයේ පසුගිය මාස දෙක තුළ විරෝධතා සහ ආරක්ෂක අංශ අතර ගැටුම් හේතුවෙන් පුද්ගලයන් රැසක් මියගොස් ඇති අතර, මේ වන විට පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයද විරෝධතාකරුවන් විසින් වර්ජනය කර ඇත. අන්තර්ජාල සීමා පැනවීම හේතුවෙන් එම ප්‍රදේශයෙන් ස්වාධීන තොරතුරු තහවුරු කිරීමද දුෂ්කර වී තිබෙනවා.

බීබීසී ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය ආයතන කිහිපයක් එම ප්‍රදේශයෙන් වාර්තා පළ කිරීමෙන් අනතුරුව මෙම උපදෙස් නිකුත් කර ඇති අතර, Al Jazeera වෙබ් අඩවියටද පාකිස්තානය තුළ ප්‍රවේශ වීම තාවකාලිකව අවහිර කර ඇති බව වාර්තා වනවා.

එරට තොරතුරු අමාත්‍යාංශය එම වාර්තා “අතිශයෝක්තියෙන් යුත් මාධ්‍ය වාර්තාකරණය” ලෙස හඳුන්වා ඇතත්, නිල තහනම් කිරීමක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
STF ඇතුළු ආරක්ෂක අංශ පල්ලන්සේන බන්ධනාගාරය තුළට - රැඳවියන් හතර අතේ දුවයි
01:19
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරයේ ඇතුලත බලය STF සහ පොලිසිය අතට ගනී...
00:43
Video thumbnail
විපක්ෂ නායක හදිසියේම උතුරු නැගෙනහිර පා.මන්ත්‍රීවරුන් හමුවෙයි
01:17
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බිත්තිය කඩන හැටි
02:06
Video thumbnail
ක්‍රොන්ක්‍රීට් පියන් උස්සන් රැඳවියෝ ඇතුළේ දාන සෙල්ලම - පොලිසියත් උඩ ඉදන් බලන් ඉදියි
01:57
Video thumbnail
විපක්ෂ නායක හදිසියේම උතුරු නැගෙනහිර පා.මන්ත්‍රීවරුන් හමුවෙයි - අර්චුනා ඇතුළු ප්‍රබලයින් එයි
01:39
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:54:18
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බිත්තිය කඩන හැටි - පාලනයට කඳුළු ගෑස් ග#යි
02:57
Video thumbnail
බන්ධනාගාර රැඳවියන් මෙල්ල කරන්න කඳුළු ගෑස්...
00:10
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඇතුලේ රැඳවියන්ගේ ලොකු ප්ලෑන් එකක්...
00:12