spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් ලංකා විදුලි බල මණ්ඩලය ඇතුළු වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙස කෙරුණු ඉල්ලීමක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළා.

ගාමිණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු පාර්ශව කීපයකට එරෙහිව ගොනුකළ පෙත්සම අද දිනට සලකා බැලීම අවසන් වූ අවස්ථාවේ දී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් අද දින තෙක් විදුලිය කප්පාදු නොකරන බවට ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඊයේ අධිකරණයට ලබා දුන් ප්‍රතිඥාව දීර්ඝ කරන ලෙස ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට ලංකා විදුලි බල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා විරුද්ධ වුණා.

එම අවස්ථාවේදී නඩු ගොනුව පරීක්ෂාකල විනිසුරු ගාමිණී අමරසේකර මහතා අදාළ ප්‍රතිඥාව ලබාදී තිබෙන්නේ අද දින පෙත්සම සලකා බලන අවස්ථාව තෙක් පමණක් බව පෙන්වා දුන්නා.

ඉන් අනතුරුව අපොස උසස් පෙළ විභාගය පවත්වන කාල සීමාව තුළ විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කළ පෙත්සමෙන් කර තිබෙන ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් විනිසුරු මඩුල්ල සඳහන් කර සිටියා.

ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම සලකා බැලීම ලබන 7 වනදා තෙක් කල් තැබුණා.

අද දහවල් පැමිණිල්ල සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී පැමිණිලිකාර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන ජනවාරි මස 23 වනදා සිට පෙබරවාරි මස 17 වනදා දක්වා විදුලිය කප්පාදු කිරීමක් නොකරන බවට ලංකා විදුලිබල මණ්ඩලය ලබාදුන් ප්‍රතිඤාව එම මණ්ඩලයේ සභාපතිවරයා විසින් උල්ලංඝනය කර ඇති බව චෝදනා කළා.

ඒ තුළින් ඔහු මානව හිමිකම් කොමිසමේ අධිකාරි බලයට අගෞරව කොට අපහාසයක් සිදු කර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ගාමිණී අමරසේකර මහතා විවෘත අධිකරණයේ කරුණු දක්වමින් විදුලිබල මණ්ඩලයේ සභාපති වෙනුවෙන් පෙනී සිටි නියෝජිතයින් විදුලි කප්පාදුවක් නොකරන බවට මානව හිමිකම් කොමිසම හමුවේ එකඟත්වය පලකර ඇත්තේ එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ඉදිරියේ දී ලබා ගැනීමේ අනුමැතියට යටත්ව බව සඳහන් කළා.

එසේ තිබියදී සභාපති වරයාට පමණක් දඩුවම් පමුණුවන්නේ කෙසේ දැයි ප්‍රශ්න කළ විනිසුරුවරයා මේ පිළිබඳව මූලින්ම අධිකරණය කරුණු පැහැදිලි කරගත යුතු බවත් සඳහන් කළා.

මීට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා සඳහන් කළේ මෙම අවස්ථාවේදී කිරීමට තිබෙන්නේ වග උත්තරකරුවන්ට දඩුවම් කිරීම නොවන බවත් වග උත්තරකරුවන් අධිකරණය හමුවට කැඳවා දඩුවම් නොකිරීමට හේතු විමසීම සිදුකල යුතු බවයි.

එම අවස්ථාවේදී විනිසුරු ගාමිණී අමරසේකර මහතා සදහන් කළේ එවැනි පියවරකට යාමට පෙර මෙම පැමිණිල්ල පවත්වාගෙන යාම සඳහා බැලූ බැල්මටම ප්‍රමාණවත් කරුණු තිබේ දැයි නිගමනය කිරීමට අධිකරණයට සිදුවන බවයි.

නඩු විභාගය අතරතුරදී උසස් පෙළ විභාගය පැවැත්වෙන සමයේ සිදුවන විදුලි කප්පාදුව පිළිබඳව ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා කරුණු ඉදිරිපත් කළා.

එම අවස්ථාවේදී විනිසුරු ගාමිණී අමරසේකර මහතා ප්‍රශ්නයක් යොමු කරමින් වග උත්තරකරුවන්ට එරෙහිව අපහාස චෝදනා එල්ල කරන අතරවාරයේ ඔවුන්ගෙන් සහනයක් අපේක්ෂා කරන්නේ කෙසේ දැයි ජනාධිපති නීතිඥවරයාගෙන් ප්‍රශ්න කලා.

මෙය මානව හිමිකම් කොමිසමට අපහාස කිරීම පිළිබඳ නඩුවක් බව අමතක නොකරන ලෙසත් විනිසුරු අමරසේකර මහතා ජනාධිපති නීතිඥවරයාට සිහිපත් කළා.

එවිට ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ විදුලි කප්පාදුව නිසා උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් දැඩි අසාධාරණයකට මුහුණ දී සිටින නිසා අතුරු සහනයක් අපේක්ෂා කරන බවත් සඳහන් කළා.

බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් වරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මානව හිමිකම් කොමිසමට විධානයන් නිකුත් කිරීමට බලයක් නොමැති බව සඳහන් කළා.

මානව හිමිකම් ප්‍රවර්ධනය හා නීති සම්පාදනය සම්බන්ධයෙන් රජය වෙත උපදෙස් දීමට සහ මානව හිමිකම් කඩවීම් පිළිබඳව විමර්ශන පවත්වා අදාළ ආයතන වලට නිර්දේශ ඉදිරිපත් කිරීමට පමණක් එම කොමිසමට බලය පැවරී තිබෙන බවත් ඇය පැවසුවා.

කිසියම් පාර්ශ්වයක් එම නිර්දේශ උල්ලංඝනය කල අවස්ථාවක ඒ පිළිබඳව ජනාධිපතිවරයා වෙත කරුණු වාර්තා කිරීමට කොමිසම කටයුතු කළ යුතු බව මානව හිමිකම් කොමිෂන් සභා පනතේ සදහන් කර තිබෙන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය කියා සිටියා.

ලංකා විදුලිබල මණ්ඩලය සහ එහි සභාපති ඇතුළු පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විදුලි බලය සැපයීම හෝ කප්පාදු කිරීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට සභාපතිවරයාට බලයක් නොමැති බව සඳහන් කළා.

එම බලතල පැවරී තිබෙන්නේ මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරියාට පමණක් බවත් ඔහු පෙන්වා දුන්නා.

තම කොමිසමට අපහාස කල බවට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත සහතිකයක් යොමු කිරීමට ප්‍රථම ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු දැක්වීම සඳහා මානව හිමිකම් කොමිසම විසින් තම සේවාදායකයාට අවස්ථාව ලබා නුදුන් බව චෝදනා කළ ජනාධිපති නීතිඥවරයා එය ස්වභාවික යුක්ති ධර්මය නමැති නීතිමය මූලධර්මය උල්ලංඝනය කිරීමක් බවත් පෙන්වා දුන්නා.

මානව හිමිකම් කොමිසම විසින් නිකුත් කළ බව කියන විධානය නිකුත් කලේ කවදාද? කෙසේ ද? එම විධානය වග උත්තරකරුවන්ට භාර දුන්නේය? යනාදී වැදගත් කාරණා පිළිබඳ සාක්ෂි කිසිවක් පැමිණිල්ල තුලින් අධිකරණය හමුවේ ගොනු කිරීමට එම කොමිසම කටයුතු කර නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

මෙවැනි වාතාවරණයක් හමුවේ කොමිසමට අපහාස කල බවට වග උත්තරකරුවන් වෙත අධිකරණය නොතීසි නිකුත් කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කල ජනාධිපති නීතිඥවරයා මෙම පැමිණිල්ල පදනම් විරහිත බවත් සඳහන් කර සිටියා.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් ජනවාරි මස 25 වනදා සිට පෙබරවාරි මස 17 වනදා දක්වා කාල සීමාව තුළ විදුලි කප්පාදුව සදහා තම සේවාදායකයා විසින් ලංකා විදුලිබල මණ්ඩලයට කිසිදු අනුමැතියක් ලබා දී නොමැති බව සඳහන් කළා.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම කරුණට අදාළව තම සේවාදායක ආයතනයේ නියෝජිතයින් ඉදිරිපත් කළ කරුණු කෙරෙහි මානව හිමිකම් කොමිසම නිසි අවධානය යොමු නොකළ බව චෝදනා කලා.

මෙම පැමිණිල්ල හරහා නොමග යවන සුළු තොරතුරු මානව හිමිකම් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් එබැවින් ද්වේශ සහගතව ඉදිරිපත් කර තිබෙන මෙම පැමිණිල්ල වහාම ප්‍රතික්ෂේප කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?