වවුනියාවට මිලියන 537ක ව්‍යාපෘති – නිවාස 138ක සංවර්ධන වැඩසටහනක්

වවුනියාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සංවර්ධන කටයුතු කඩිනම් කිරීම සහ ජනතාව මුහුණ දෙන පොදු ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමේ අරමුණින් පැවැත්වෙන ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම, සංවර්ධන කමිටු සභාපති සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) වවුනියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

මෙහිදී වවුනියාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය මෙන්ම, එම ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන පොදු ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

2026 වසරේ වවුනියාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති 50ක් සඳහා රුපියල් මිලියන 537ක මුදලක් වෙන්කර තිබීම මෙහිදී විශේෂ අවධානයට ලක්වුණා.

යුද්ධයෙන් අවතැන්ව සිටි පවුල් සහ නිවාස අවශ්‍යතා සහිත දිළිඳු පවුල් සඳහා නව නිවාස 138ක් ඉදිකිරීම වෙනුවෙන් රුපියල් මිලියන 227.3ක මුදලක් වෙන්කර ඇති අතර, එමගින් දිගුකාලීනව නිවාස ගැටලුවලට මුහුණ දෙන පවුල් සඳහා ස්ථිර විසඳුම් ලබාදීමට අපේක්ෂා කෙරෙනවා.

එමෙන්ම, ග්‍රාමීය ජනතාවගේ දෛනික ගමනාගමනය පහසු කිරීම සහ ප්‍රදේශයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ග්‍රාමීය මාර්ග 21ක් සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 100.25ක මුදලක් වෙන්කර තිබෙනවා.

ග්‍රාමීය පාලම් ඉදිකිරීම සඳහාද රුපියල් මිලියන 33ක මුදලක් වෙන්කර තිබෙනවා.

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට රාජ්‍ය ආයතන වෙත පහසුවෙන් ප්‍රවේශ වීමේ පහසුකම් සැලසීම මෙන්ම, වෘත්තීය පුහුණුව ලබාදී ඔවුන් සඳහා ස්වයං රැකියා අවස්ථා ඇති කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වුණා.

ඒ සඳහා රුපියල් මිලියන 1,500ක මුදලක් වෙන්කර ඇති බව සඳහන්.

වවුනියාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සංවර්ධන ව්‍යාපෘති කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම, වෙන්කර ඇති ප්‍රතිපාදන නිසි පරිදි යොදාගැනීම සහ ජනතාවගේ ප්‍රමුඛ අවශ්‍යතා සඳහා විසඳුම් ලබාදීම පිළිබඳවද රැස්වීමේදී වැඩිදුරටත් අවධානය යොමු කෙරුණා.

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ජගදීස්වරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන්, වවුනියාව ප්‍රාදේශීය ලේකම් එම්. ප්‍රතාපන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියා.