Rajapura Handi Oil
Rajapura Diabetic Powder

වනජීවී සංරක්ෂණ ඉතිහාසයේ දැවැන්තම වාහන තොගයක් වනජීවී ක්ෂේත්‍ර රාජකාරී සඳහා එක්වේ

ශ්‍රී ලංකාවේ වනජීවී සම්පත සුරැකීම, මිනිස් අලි ගැටුමට විසදුම් සෙවීමේ අරමුණෙන් සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර මෙහෙයුම් ශක්තිමත් කිරීම සදහා නවීන සිංගල් කැබ් රථ 84ක් එම දෙපාර්තමේන්තුව වෙත නිල වශයෙන් භාර දී තිබෙනවා.

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි ගේ ප්‍රධානත්වයෙන් අද (13) පෙරවරුවේ මහර – කඩවත ටොයෝටා (TOYOTA) ආයතනයේදී එම වාහන භාරදීම නිල වශයෙන් සිදු කෙරුණා.

මෙම අවස්ථාවට පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් උදය කුමාර , වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ , අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මංජුල අමරරත්න, ටොයෝටා ලංකා ආයතනයේ සභාපති ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ආයතනික නියෝජිතයින් පිරිසක් සහභාගී වුණා.

ශ්‍රී ලංකා ඉතිහාසයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත එක් වරකදී ලබා දෙන විශාලතම වාහන තොගය මෙය වන අතර, දෙපාර්තමේන්තුවේ සමස්ත වාහන සංචිතය 294 කි. ඒ අනුව, සිංගල් කැබ් රථ 84ක්, ඩබල් කැබ් රථ 16 ක්, කෲ කැබ් රථ 03ක්, යතුරුපැදි 181ක්, ට්‍රැක්ටර් 09 සහ අත් ට්‍රැක්ටර් 01 මේ වන විට වනජීවී දෙපාර්තමේන්තුව සතුවෙනවා.

වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව, වනජීවී ක්ෂේත්‍රයේ දීර්ඝකාලීනව පැවති මානව හා භෞතික සම්පත් හිඟය පියවීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් දියත් කර තිබෙනවා. මෙම වාහන බෙදා දීමේදී විශේෂයෙන්ම අලි – මිනිස් ගැටුම් බහුල ප්‍රදේශ සහ වන හානි වැඩි වශයෙන් වාර්තා වන අඩවි කාර්යාල වෙත ප්‍රමුඛතාව ලබා දීමට කටයුතු කර තිබුණා.

මීට පෙර අවස්ථා කිහිපයකදී ද මෙම ව්‍යාපෘතිය යටතේ වාහන තොග කිහිපයක් අඩවි කාර්යාල වෙත මුදා හැර ඇති අතර, අද දින භාර දුන් කැබ් රථ 84ත් සමඟ ක්ෂේත්‍ර නිලධාරීන්ගේ ප්‍රවාහන දුෂ්කරතා අවම වී හදිසි මෙහෙයුම් සඳහා ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමේ හැකියාව තවදුරටත් තහවුරු වෙන බවට ඔවුන් පෙන්වා දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්