වනඅලින්ගේ ජීවිත වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

වනඅලි දුම්රියේ ගැටී අනතුරට ලක්වීමේ සිද්ධීන් අවම කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් ඒ සඳහා නිසි ක්‍රියාමාර්ග නොගැනීම තුළින් රජයේ බලධාරින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පරිසරවේදීන් පිරිසක් විසින් එම පෙත්සම ඉදිරිපත් කරන ලද බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා, දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා, ප්‍රවාහන අමාත්‍යවරයා, වනජීවී අමාත්‍යවරයා, පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ වනඅලින් දුම්රියහි ගැටීම සිදුවීම් මේ වනවිට වර්ධනය වීමේ ප්‍රවණතාවක් දක්නට තිබෙන බවයි.

2011 වසරේ දිවයින පුරා සිදු කරන ලද වනඅලි සංගණනයක දී මෙරට වනඅලි සංඛ්‍යාව 5879ක්ව පැවති අතර මෑතක දී සිදු කරන ලද සංගණනයේ දී එම සංඛ්‍යාව 3130ක් දක්වා පහත වැටී තිබෙන බවත් පෙත්සමේ පෙන්වා දී තිබෙනවා.

පසුගිය වසර 13 තුළ දුම්රියහි ගැටීම හේතුවෙන් අඩුම වශයෙන් අලි ඇතුන් 151ක් දෙනෙකු මියගොස් ඇති බවට නිල වාර්තාවලින් තොරතුරු අනාවරණය වී තිබෙන බවත් පෙත්සමේ සඳහන්.

මෙසේ මියගොස් ඇති අලි ඇතුන්ගෙන් සියයට 40ක් පමණ වයස අවුරුදු 30ත් 40ක් අතර වියේ පසුවන අලි ඇතුන් බවත් මෙම තත්ත්වය අලි ඇතුන්ගේ ගහණය වර්ධනය වීමට අහිතකර ලෙස බලපාන බවත් පෙත්සම්කරුවෝ චෝදනා කරනවා.

වැලිකන්ද සහ පූනානී අතර දුම්රිය මාර්ගයේ වැඩිම අනතුරු සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර 2022 වසරේ එම මාර්ගයේ අලි ඇතුන් අනතුරට ලක්වීමේ සිද්ධීන් 23ක් වාර්තා වූ බවත් පෙත්සමේ පෙන්වා දී තිබෙනවා.

ඊට අමතරව අඹන්පොළ සහ ගල්ගමුව, ගල් ඔය සහ හිඟුරක්ගොඩ, මනම්පිටිය සහ වැලි කන්ද වැනි මාර්ගවල ද අලි ඇතුන් අනතුරට ලක්වීමේ සිද්ධීන් බහුල වශයෙන් වාර්තා වූ බවත් පෙත්සමේ සඳහන්.

මෙම දත්ත පිරික්සීමේ දී වර්ධනය වෙමින් පවතින අලි ඇතුන් දුම්රියවල ගැටීමේ සිද්ධීන් අවම කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සැකසීමේ අවශ්‍යතාවක් අනාවරණය වන බවත් පෙත්සම්කරුවෝ සඳහන් කළා.

මෙවැනි සිද්ධීන් මතු වී තිබියදීත් ඒවා වැළැක්වීම සඳහා නිසි ක්‍රියා මාර්ග නොගැනීම තුළින් වග උත්තරකරුවන් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් මේ වන විට සිදු වී තිබෙන දුම්රියවල අලි ඇතුන් ගැටීමේ අනතුරු සිද්ධීන් පිළිබඳ වෝහාරික පරීක්‍ෂණයක් සිදු කරන ලෙස වග උත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම අනතුරු බහුල ප්‍රදේශවල අනතුරු වැළැක්වීම සඳහා දුම්රිය රියදුරන් වෙත වේග සීමාවන් හඳුන්වාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටින පෙත්සම්කරුවන් අලි ඇතුන් අනතුරට ලක්වීමේ සිද්ධීන් අවම කිරීම සඳහා වනජීවී හා වෘක්ෂලතා ආඥා පනත යටතේ රෙගුලාසි මාලාවක් නිකුත් කරන ලෙස පරිසර හා වනජීවි අමාත්‍යවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16