ලෝක කුසලාන මාවතෙන් නවසීලන්තය වැස්සෙන් ම සේදී යන ලකුණු

පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානයේ C කාණ්ඩය යටතේ දෙපිළ ම මුහුණදෙන අවසන් මූලික වටයේ තවත් තරගයක් අද (17) පැවැත්වීමට නියමිත ව තිබුණ ද, Tarouba වෙත ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ කිරීම මේ වනවිට ප්‍රමාද වී තිබෙනවා.

ඒ නවසීලන්තය සහ පැපුවා නිව්ගිනියාව අතර යි.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ 39 වැනි තරගය ලෙසටයි මෙය පැවැත්වීමට නියමිත ව ඇත්තේ.

නවසීලන්ත කණ්ඩායම ද මෙවර තරගාවලියේ දී අසාර්ථක වී සිටිනවා.

මුහුණ දුන් තරග 03න් දෙකක් ම පරාජයට පත් ව සිටින නවසීලන්ත කණ්ඩායම මෙම තරගය ජය ගත්ත ද, එය විශාල සාමාන්‍යයකින් (ලකුණු පරතරයකින්) ජයගත යුතු ව ඇතැත් එය අසීරු ඉලක්කයක් බවයි ක්‍රිකට් විචාරකයින් මත පළ කර ඇත්තේ.

එබැවින් මෙම තරගය නවසීලන්තය ජය ගත්ත ද එය ඔවුන්ට සුපිරි 08 දෙනාගේ තරග වටයට යාමට තරම් සුදුසුකමක් වන්නේ නැහැ.

පැපුවා නිව් ගිනියා කණ්ඩායම සී කාණ්ඩයෙන් මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ ද ඇත්තේ අවසන් ස්ථානයේයි.

ඒ පැවති තරග තුනෙන් ම පරාජයට පත්වීමෙන්.

කෙසේ හෝ අද තරගය දෙපිළට ම ජය ගැනීම වැදගත් වනවා.

ඒ ප්‍රබල කණ්ඩායමක් පරාජය කිරීමේ ගෞරවය හෝ පැපුවා නිව්ගිනියාවට ලබා ගැනීමටත්, ලෝකයේ ප්‍රබල ක්‍රිකට් කණ්ඩායමක් ලෙස සැලකෙන නවසීලන්ත කණ්ඩායමට මෙවර ජයග්‍රාහී ලකුණු එකක් හෝ තව එක් කරගැනීමත් වැදගත් වීම නිසාවෙන්.