ලිඳුල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අසෝක සේපාල ශරීර ඇප මත නිදහස්

දූෂණ චෝදනා යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (11) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තලවකැලේ – ලිඳුල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අසෝක සේපාල මහතා රුපියල් මිලියන 02 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.

විත්තිකරුට අදාළ නියෝගය ලබාදෙනු ලැබුවේ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය විසින්.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල මහතා කළ කරුණු දැක්වීම සලකා බලමින් විනිසුරුවරිය එකී නියෝගය නිකුත් කළා.

එකී ප්‍රාදේශීය සභාවට අයත් මස් අලෙවි සැලක් බදු දීමේ දී වැඩිම ලංසුවට ඉදිරිපත් වූ තැනැත්තාට ටෙන්ඩරය ලබා නොදී, අඩුම ලංසුව ඉදිරිපත් කළ අයෙකුට ටෙන්ඩරය ලබා දී රජයට පාඩු කිරීමේ චෝදනාවටයි අසෝක සේපාල මහතාව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ.