spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ පෙළපොත් සකස් කිරීමට කමිටුවක්

පාසල් සිසුන් සඳහා ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ පෙළපොත් සකස් කිරීමටත් ඊට අදාළ විවිධ පාර්ශ්ව දැනුවත් කිරීමටත් අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් විශේෂ කමිටුවක් පත්කරන ලෙස ‘ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ’ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය අමාත්‍යාංශ බලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිනිය මෙම දැනුම්දීම සිදුකළේ පාර්ලිමේන්තුවේදී එම කාරක සභාව රැස්වූ අවස්ථාවේදීයි.

මෙම රැස්වීමට සහභාගී වූ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති විවිධ ආයතන, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යන ආයතවල නියෝජිතයන් ද මෙම කමිටුවට ඇතුළත් වන පරිදි එය පිහිටුවන ලෙසත් අදාළ සම්බන්ධීකරණ කටයුතුවල ප්‍රධාන වගකීම අධ්‍යාපන අමාත්‍යාංශය භාර ගන්නා ලෙසත් රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය මෙහිදී උපදෙස් දී තිබෙනවා.

මෙම කමිටුවේ වගකීම් මාස තුනක් ඇතුළත අවසන් කළ යුතු අතර ඒ සඳහා වන කාලරාමුවක් මීළඟ රැස්වීමේදී සකස් කිරීමට අපේක්ෂා කරන බවයි ඇය ප්‍රකාශ කළේ.

වයස අවුරුදු 16 ඉක්මවූ පාසල් සිසුන්ව ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීමට දැනටමත් පෙළපොත් සකස් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් කාරක සභාව හමුවේ සඳහන් කර තිබෙනවා.

එසේ වුව ද දරුවාගේ මනසට ගැළපෙන පරිදි කුඩාකල සිටම ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳව දරුවන්ව දැනුවත් කිරීමේ අවශ්‍යතාවක් පවතින බැවින් ඒ සඳහා පෙළපොත් සකස් කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කළ යුතු බවයි කමිටුව විසින් අවධාරණය කර ඇත්තේ.

මෙම වැඩසටහනේ පළමු අදියරේදී ‍පෙළ පොත් මුද්‍රණය නොකළ ද අන්තර්ජාලය හරහා සිසුන්ට පරිශීලනය කිරීමට අවස්ථාව ලබා දිය හැකි බවද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

ලිංගික අපයෝජනවලින් ආරක්ෂා කර ගැනීම සදහා ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳව ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුවත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ආගමික නායකයන්, දෙමාපියන්, ජනමාධ්‍ය ඇතුළු අදාළ පාර්ශ්ව දැනුවත් කිරීමේ වැඩසටහන් ද කමිටුව විසින් සංවිධානය කළ යුතු බව ද මෙහිදී අවධාරණය කෙරුණා.

විවාහයෙන් පසුව පවුල් සෞඛ්‍ය නිලධාරී කාර්යාලය මගින් කාන්තාවන්ට ලබා දෙන දැනුවත් කිරීම්වලදී ද ඔවුන්ගේ දරුවන් අනාගතයේ ලිංගික අපයෝජනවලින් ආරක්ෂා කරගැනීම පිළිබඳව අවබෝධය ලබා දිය යුතු බවටත් මෙහිදී යෝජනා වී තිබෙනවා.

‘ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ’ නියෝජ්‍ය සම සභාපතිනිය වන (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද වීරසුමන වීරසිංහ, මංජුලා දිසානායක, මුදිතා ප්‍රිශාන්ති යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ද කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?