“ලන්ච් ෂීට්” කිලෝග්‍රෑම් 7000කට අධික තොගයක් අත්අඩංගුවට

නීතිවිරෝධී අයුරින් පොලිතීන් වර්ගයක් වන ‘ලන්ච් ෂීට්’ තොගයක් මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර පොලිස් ඒකකය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමග ඒකාබද්ධ ව සිදු කළ වැටලීමක දී අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වැටලීම වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී නිෂ්පාදිත ලන්ච් ශීට් කිලෝග්‍රෑම් 7,672 ග්‍රෑම් 35ක පමණ ප්‍රමාණයක් සොයාගැනුණා.

වැල්ලම්පිටිය, වෙලේවත්ත ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවකයි මෙම ලන්ච් ශීට් තොගය නිපදවා ඇත්තේ.

වැටලීමෙන් සොයාගත් පොලිතීන් ලන්ච් ෂීට් කිලෝග්‍රෑම් 7,672 ග්‍රෑම් 35ක ප්‍රමාණය තුළ කිලෝග්‍රෑම් 2,505ක ප්‍රමාණයක් ලන්ච් ෂීට් පැකට් ලෙස තිබුණු අතර තවත් කිලෝග්‍රෑම් 5,167 ග්‍රෑම් 35ක ප්‍රමාණයක් නොකැපූ ලන්ච්ෂීට් රෝල් ලෙස තිබූ බව ද පැවසෙනවා.

පාරිභෝගික සේවා අධිකාරිය කිලෝග්‍රෑම් 2,505ක ප්‍රමාණයක් වූ ලන්ච්ෂීට් පැකට් තොගය අත්අඩංගුවට ගත් අතර අනෙක් ලන්ච් ෂීට් තොගය කර්මාන්තශාලා පරිශ්‍රය තුළ ම මුද්‍රා තබා අදාළ ඉදිරි නීතිමය කටයුතු සඳහා ගෙන ගොස් තිබෙනවා.