ලක්ෂ 20ක විදෙස් දුම්වැටි කටුනායකින් අල්ලයි

රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා විදේශීය දුම්වැටි තොගයක් සිය නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට තැත් කළ ව්‍යාපාරිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු තංගල්ල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.

ඔහු මීට මාස දෙකකට පමණ පෙර නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගය රැගෙන ඒම සඳහා ම සංචාරක වීසා යටතේ ඕමානය වෙත ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙම පුද්ගලයා අද අලුයම 04.03ට ඕමානයේ මස්කට් නුවර සිට ඕමාන ගුවන් සේවයේ OV – 437 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු රැගෙන ආ ගමන් මලු දෙකක් තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ “මැන්චෙස්ටර්” වර්ගයේ දුම්වැටි 20,000ක් අඩංගු දුම්වැටි කාටූන් 100ක් නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා.

සැකකාර ව්‍යාපාරිකයා මෙම දුම්වැටි තොගය ශ්‍රී ලංකාව තුළ අලෙවි කළේ නම් ඔහුට රුපියල් ලක්ෂ පහක පමණ ශුද්ධ ලාභයක් උපයා ගත හැකිව තිබූ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් අනාවරණය කර ගෙන තිබෙනවා.

අත් අඩංගුවට ගත් දුම්වැටි තොගය සහ ව්‍යාපාරිකයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.