ලක්ෂ අසූවක ගංජා සමඟ කතුන් තිදෙනෙක් ගුවන්තොටේ දී අත්අඩංගුවට

රුපියල් ලක්ෂ අසූවක් වටිනා “මරිජුවානා” මත්ද්‍රව්‍ය තොගයක්, මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ව්‍යාපාරිකයන් සදහා වූ ” රක්ත මාවත” (Red Channel) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ , ශ්‍රී ලාංකික කාන්තාවන් තිදෙනෙක් ඊයේ (09) දින රාත්‍රී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන්, කොළඹ – 13 ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි වියේ පසුවන, පුත්තලම, කල්පිටිය ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි සහ කොළඹ – 02 ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි වියේ පසුවන ව්‍යාපාරික කාන්තාවන් තිදෙනෙක් .

ඔවුන් ඊයේ (09) රාත්‍රී 10.50 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී.- 140 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

වැඩිදුර විමර්ශන කටයුතු සදහා, මෙම සැකකාරියන් තිදෙනා සහ ඔවුන් රැගෙන ආ ” මරිජුවානා ” තොගය කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.