spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලංගම සේවකයන්ට හිරිහැර කරන පෞද්ගලික බස් රථවල බලපත්‍ර වසර 2කට අහෝසි වෙයි

ලංගම සේවකයන්ට අමානුෂික පහරදීම් හා හිරිහැර කර වරදකරුවන් වන සේවකයන්ට අයත් පුද්ගලික බස් රථවල මාර්ග බලපත්‍ර වසර 2කට අහෝසි කරන බව ප්‍රවාහන, අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ලංගම සේවකයින්ට සිදුවන ශාරීරික පීඩා හා අමානුෂික පහරදීම් පිළිබඳ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනුයි අමාත්‍යවරයා මෙම කරුණු අවධාරණය කළේ.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ශ්‍රී ලංකාවේ ගොඩබිම ප්‍රවාහනයේ, මගී ප්‍රවාහන සේවා සපයන එකම රාජ්‍ය ප්‍රවාහන සේවය ලෙස ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විශාල සේවයක නිරත වෙමින් සිටිනවා. සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ඩිපෝ 107 ක් මගින් බස්රථ 4700 පමණ දිනපතා මගී ප්‍රවාහනය උදෙසා ධාවනයේ යොදවා තිබෙනවා. 75 වන නිදහස් සමරුවට සමගාමීව පෙබරවාරි මස තුල තවත් බස්රථ 1000ක් මෙම ඇනියට එක්කරන්නට අප කටයුතු කරනවා.

මේ වන විට රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ හිඟයක් පැවතුනත් කොවිඩ් 19 වසංගත තත්වය හා ඉන් පසුව ඇතිවූ ආර්ථික අර්බුදය, ඉන්ධන හිඟය වැනි අභියෝග මධ්‍යයේ වුවත් මගී ජනතාවගේ ඉල්ලුම සපුරාලීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දිවා රාත්‍රි බස්රථ සේවාවන් යොදවන ලද අතර, ඉතා වෙහෙසකාරී රාජකාරිමය වගකීමක් එම කාර්ය මණ්ඩලය ඉටු කරනු ලබනවා. එමෙන්ම ඇතැම් අවස්ථාවල දුම්රිය සේවාවන්හි අඩාලවීම වූ අවස්ථාවලදී ද ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සුවිශේෂී මෙහෙයක් සිදු කරනු ලබනවා. පාසල් දරුවන් වෙනුවෙන් සිසු සැරිය 1617ක් හා නිසි සැරිය බස්රථ සේවාවන්ද බොහෝ බාධක මැද වුවත් අඛණ්ඩව පවත්වාගෙන යනු ලබනවා. ඒ වෙනුවෙන් 2023 වසරේදී රජය රු.මිලියන දෙදහසක් වෙන්කර තිබෙනවා.

ලාභ අපේක්ෂාවෙන් පමණක් මගී ප්‍රවාහන සේවා පවත්වා ගෙන යනු ලබන සමහර පෞද්ගලික බස්රථ සේවකයින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින් සමඟ නිතර ගැටුම් ඇතිකර ගන්නා අතර එම තත්වය ක්‍රමිකව වර්ධනය වන බවත් 2022 වර්ෂයේ අගභාගයේදී හා 2023 මුල් සති 02 ක තුල නිරීක්ෂණය වී තිබෙනවා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් මා වෙත ලබාදුන් තොරතුරු අනුව මාරාන්තික පහරදීම් හා තුවාල සිදුකිරීම් පිළිබඳ තොරතුරු වාර්තාවක් මා සභාගත කරනවා.

මෙම පහරදිම්වලට ලක්වන රියදුරු හා කොන්දොස්තර මහතුන්ගේ අතපය කඩා දැමීම නිසා ආබාධ තත්වයට පත්වීම, මුහුණට පහරදීම නිසා දෑස් නොපෙනීයාම වැනි අමානුෂික ක්‍රියා පිළිබදව වාර්තා වී ඇති අතර 2015 ජූනි මස 05 වන දින පුද්ගලික බස්රථ සේවකයින් විසින් ගාල්ල ප්‍රදේශයේදී කතරගම ඩිපෝවේ එච්.එච්.ප්‍රියදර්ශන කොන්දොස්තර මහතාට කරන ලද පහරදීමෙන් ඔහු මියගොස් තිබෙනවා.

ඉන්පසු ආබාධිත තත්වයට පත්වූ රියදුරු කොන්දොස්තර මහතුන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් වර්ධනය වන බව ඉදිරිපත් වන දත්ත අනුව නිරික්ෂණය වන බවත් ඒ සදහා සමහර අවස්ථාවලදී ශ්‍රී ලංකා පොලීසිය මගින් නිසි වේලාවට රාජකාරී ඉටු නොකිරීම පිළිබදව ශ්‍රීලංගම වෘත්තීය සමිති කනස්සල්ලට පත්වී තිබෙන අතර රාජකාරි ඉටුකර ගැනීම වෙනුවෙන් වර්ජන ක්‍රියාමාර්ගයන්ට එළඹී පොලිසියේ අවධානය යොමු කරගන්නට ඔවුන්ට සිදුව තිබෙනවා.

ප්‍රවාහන විෂයභාර අමාත්‍යවරයා ලෙස මා වෙත පැවරී ඇති වගකීම් අනුව යම් ගැටුමකට සම්බන්ධ වන පෞද්ගලික අංශය හෝ ශ්‍රීලංගම සේවකයින් පිළිබද නිසි පරීක්ෂණ සිදුකල යුතු බව අවධාරණය කරන අතර බොහෝ විට අගතියට පත්වී ඇත්තේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින් බවද පෙන්වා දෙන්නට කැමැතියි. ලංගම ජාතිය සතුයි. මෙහි වත්කම් පොදු දේපල යටතට අයත් වත්කම්. එබැවින් මෙම පොදු දේපල පරිහරණය කරන පිරිසට සිදුවන හිරිහැර පිලිබඳ පොදු දේපල පනත යටතේ කටයුතු කරන ලෙස පොලිස්පති තුමා ඇතුලු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

මෙවැනි තත්වයන් නිසා යම් පෞද්ගලික බස්රථයක සේවකයින් විසින් හෝ සංවිධානාත්මකව පහරදීම් සිදු කරන ලද කණ්ඩායම් විසින් සිදු කරනු ලබන මානුෂික පීඩා හා හිරිහැර පිළිබදව සෘජු පරීක්ෂණ සිදු කරන ලෙස පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටින අතර එවැන්නන්ගේ තරාතිරම හා බස්රථ හිමියන්ගේ වතගොත නොසලකා නිසි රාජකාරී ඉටු කරනු ඇතැයි මා අපේක්ෂා කරනවා.

තවද නිසි ලෙස හදුනාගන්නා සේවකයින් වැරදිකරුවන් බවට පත්වූ විට මෙවැනි බස්රථවල මාර්ග ධාවන බලපත්‍ර වසර 02 ක් සදහා අත්හිටුවන්නට සිදුවන බව මම දැනුම් දෙනවා. ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ විධිවිධානවලට අනුව බියෙන් හා සැකයෙන් තොරව පොදු දේපල පරිහරණය කරන්නට ඉඩ ලබා දිය යුතු බැවින් මෙම ක්‍රියාමාර්ග ගන්නට සිදුවනවා. ඊට හේතුව ලෙස බස්රථ හිමියන් විසින් දෛනික ගාස්තු ක්‍රමයක් ලෙස පෞද්ගලික රියදුරන් හා කොන්දොස්තරවරුන්ට බස්රථ ලබාදීම නිසා වැඩි ලාභ උපයාගැනීමේ අපේක්ෂාවෙන් සිදු කරන ලබන තරගකාරී ධාවන ක්‍රියාවලිය එම තත්ත්වයන්ට හේතුව බව වාර්තා වී තිබෙනවා.

මෙරට තුළ නිදහස් නිවහල් සමාජයක් ස්ථාපිත කිරීමේදී තිරසාර හා කාර්යක්ෂම ප්‍රවාහන සේවයක් මෙරට පුරවැසියන්ට ලබාදෙන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සියලු අංශවලට අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය හා නායකත්වය ලබාදීම විෂයභාර අමාත්‍යවරයා ලෙස මාගේ වගකීමක් වන අතර මෙම තත්ත්වය පැහැදිලි කිරීම සඳහා අවස්ථාව ලබාදීම පිළිබඳව මාගේ ස්තුතිය පිරිනමන්නට කැමතියි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?