රුපියල් මිලියන 15ක් දිනූ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්

ඔන්ලයින් ක්‍රීඩාවකින් ඉන්දීය රුපියල් මිලියන 15ක් දිනාගත් ඉන්දීය පොලිස් නිලධාරියෙකුගේ සේවය අත්හිටු වීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පූනේ දිස්ත්‍රික්කයේ උපපොලිස් පරීක්ෂකවරයෙකු වන සෝම්නාත් සෙන්ඩේ, Dream 11 නමැති ඔන්ලයින් ක්‍රීඩාවෙනුයි අදාළ මුදල් දිනා ගෙන ඇත්තේ.

ඉන්දීය පොලිස් බලධාරීන් පවසන්නේ, පොලිස් ආචාර ධර්ම උල්ලංඝණය කිරීම හේතුවෙන් ඔහුගේ සේවය අත්හිටුවා ඇති බවයි.

කෙසේවෙතත් මෙම පොලිස් නිලධාරියා අදාළ චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහුට විමර්ශනයකට මුහුණ දීමට සිදු වනු ඇතැයි සඳහන්.

සෝම්නාත් සෙන්ඩේ සේවයේ නියුතු පූනේ දිස්ත්‍රික්කයේ පිහිටි පිම්ප්‍රි චින්ච්වාද් ප්‍රදේශයේ පොලිස් දෙපාර්තමේන්තුව බී.බී.සී පුවත් සේවයට පැවසුවේ, අවසරයකින් තොරව ඔන්ලයින් ක්‍රීඩාවේ යෙදීම සහ නිල ඇඳුමින් සැරසී මාධ්‍යවලට අදහස් දැක්වීම යන කරුණු මත මෙම සේවා අත්හිටුවීම සිදු කර ඇති බවයි.

පොලිස් නිලධාරියා Dream 11 ක්‍රීඩා කිරීම ආරම්භ කළේ පසුගිය මාසයේදී වන අතර එය ජයග්‍රහණය කිරීමෙන් ඔක්තෝබර් 10 වනදා රුපියල් මිලියන 15ක් හිමි වී තිබෙනවා.

Dream 11 සමාගම එම ක්‍රීඩාව “කුසලතාමය ක්‍රීඩාවක්” ලෙස හඳුන්වන අතර එය ඉන්දීය සූදු නීතියෙන් නිදහස් කර ඇති බව පෙන්වීමට ඔවුන්ගේ වෙබ් අඩවියේ 2021 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවක් ද උපුටා දක්වා තිබෙනවා.

ඉන්දියාව තුළ සූදුව නීති විරෝධී වුව ද, ඔන්ලයින් ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඇතැමුන් තර්ක කරන්නේ, වාසනාවට වඩා කුසලතාවට වැඩි ඉඩකඩක් ඇති “හැකියාව මත පදනම් වී ඇති ඔන්ලයින් ක්‍රීඩාවල” භාවිතය වෙනස් බවයි.

එම ක්‍රීඩා යෙදුමෙහි සන්නාම තානාපතිවරයෙකු ලෙස ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි කටයුතු කරන අතර, එහි ප්‍රවර්ධන කටයුතුවලදී අමීර් ඛාන් වැනි බොලිවුඩ් නළුවන් ද පෙනී සිට තිබෙනවා.

එමගින් වයස අවුරුදු 18ට වැඩි ක්‍රීඩා ලෝලීන්ට ක්‍රිකට්, හොකී, පාපන්දු සහ බාස්කට් බෝල් වැනි ක්‍රීඩාවල නිරත වීමට ඉඩ සැලසෙනවා. එය භාවිත කරන්නන්, සැබෑ ක්‍රීඩකයින්ගේ නම් භාවිත කරමින් අතත්‍ය (virtual) කණ්ඩායම් නිර්මාණය කරන අතර එම ක්‍රීඩකයින් සැබෑ තරගවලදී දක්වන දක්ෂතා මත පදනම්ව ඔවුන්ට ලකුණු රැස් කර ගත හැකියි.

ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සහ එංගලන්තය අතර පැවති තරගය අතරතුර එම ක්‍රීඩාවේ නිරත වීමෙනුයි සෙන්ඩේ නම් පොලිස් නිලධාරියා ජයග්‍රහණය කර ඇත්තේ.

එම ජයග්‍රහණයෙන් පසු, සෙන්ඩේ පොලිස් නිල ඇඳුමෙන් සැරසී මාධ්‍යවලට අදහස් දැක්වූ බවට වාර්තා පළ වුණා.

අමෝල්ද් තෝරට් නමැති මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පාලන බලය හිමි භාරතීය ජනතා පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු, “ඔට්ටු ඇල්ලීමෙහි” නිරත වීම සම්බන්ධයෙන් සෙන්ඩේට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ප්‍රධාන අමාත්‍යවරයාට සහ නියෝජ්‍ය අමාත්‍යවරයාට ලිපියක් යොමු කර තිබූ බව සඳහන්.

රාජකාරියේ නිරතව සිටියදී ක්‍රීඩාවේ නිරත වීම සහ රාජකාරිය නොසලකා හැරි බවටයි තෝරට් සෙන්ඩේට චෝදනා කර ඇත්තේ.

පොලිස් නිල ඇඳුමෙන් සැරසී සිටින සෙන්ඩේගේ ඡායාරූප අන්තර්ජාලය හරහා සංසරණය වූ අතර, එම ක්‍රියාව මගින් ප්‍රාන්තයේ පොලිස් බළකාය පිළිබඳ වැරදි අදහසක් නිර්මාණය වී ඇති බව ඔහු සිය පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, සෙන්ඩේ බී.බී.සී සේවයට පැවසුවේ, තමන් රාජකාරි කාලය තුළ ක්‍රීඩාවේ නිරත නොවූ බවයි. එමෙන් ම, එම ක්‍රීඩාවෙහි නිරත වන එකම පොලිස් නිලධාරියා තමන් පමණක් නොවන බවට ද ඔහු චෝදනා කරනවා.

“ගොඩක් මිනිස්සු මේ ක්‍රීඩාවේ නිරත වෙනවා. ඒක ක්‍රීඩාවක්. ඒගොල්ලො පැය ගණන් සෙල්ලම් කරනවා, ඒක සූදු ක්‍රීඩාවක් නොවුණත් මට දඬුවම් දීලා තියෙනවා.”

සෙන්ඩේ පැවසුවේ, තමන් ජයග්‍රහණය කළ මුදලින් නිවාස ණයක් පියවා දැමීමටත්, සිය දරුවන්ගේ නමින් ස්ථාවර තැන්පතු ගිණුම් විවෘත කිරීමටත් සැලසුම් කළ බවයි.

ඔහුට එරෙහිව කෙරෙන ආයතනික විමර්ශනයේදී, ඔහුගේ නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙනු ඇති.

විමර්ශන කමිටුව සිය වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසුව, මේ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දෙපාර්තමේන්තුව තීරණය කරනු ඇති බවයි ඉන්දීය ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08