රියර් අද්මිරාල් කාංචන බානගොඩ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ පත්කර තිබෙනවා.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය රියර් අද්මිරාල් කාංචන බානගොඩ වෙත නිල වශයෙන් ඊයේ (26) නාවික හමුදා මූලස්ථානයේ දී ප්‍රදානය කළා.

ඔහු සිය සේවා කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විවිධ නිලතල රාශියක් දරා ඇති අතර, වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්හි අණභාර නිලධාරී ලෙස සහ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා හා ආයතනයන්හි අණදෙන නිලධාරී වශයෙන් ද රාජකාරී සිදුකර තිබෙනවා.

ඊට අමතරව අධ්‍යක්‍ෂ නාවික පුහුණු, ගිණිකොණ නාවික විධානයේ ආඥාපති, උතුරු මැද නාවික විධානයේ ආඥාපති සහ උතුරු නාවික විධානයේ ආඥාපති ලෙස කටයුතු කර ඇති රියර් අද්මිරාල් කාංචන‍ බානගොඩ, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් පත් වීමට පෙර නැගෙනහිර නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කළා.

බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන රියර් අද්මිරාල් කාංචන බානගොඩ, 1989 වර්ෂයේදී 19 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක් වුණා.