රැකියා දෙන බව කියා රුසියානු යුද සේවයට යවලා – ශ්‍රී ලාංකිකයින් 17ක් දිවි බේරාගෙන යළි දිවයිනට

රුසියාවේ සහ රුසියානු හමුදාවේ සිවිල් රැකියා ලබාදෙන බව පවසා රුසියාවට පිටත්කර යැවූ ශ්‍රී ලාංකිකන් 17 දෙනෙකු එරට හමුදා සේවයට බඳවා ගැනීමට ගත් උත්සාහයක් ව්‍යාර්ථ වී තිබෙනවා.

නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි රැකියා නියෝජිත ආයතනයක් හරහා ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙක් මෙලෙස රුසියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් ඔවුන්ව රුසියානු හමුදා සේවයට බලහත්කාරයෙන් බඳවාගෙන රුසියානු – යුක්රේන යුද්ධයේ ඉදිරිපෙළ යුද සේවයට යැවීමට සැලසුම් කර තිබූ බව සඳහන්.

කෙසේ වෙතත් එම උත්සාහය ව්‍යාර්ථ වීමෙන් පසු ඔවුන් පිරිස දැඩි පරිශ්‍රමයක් දරා යළි දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

ඔවුන් පිරිස ඊයේ (02) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

මොවුන් එක් අයෙකු රුපියල් දාහත් ලක්ෂ පනස් දහසක මුදලක් වැයකරමින් මෙලෙස රැකියා සඳහා රුසියාව බලා පිටත්ව ගොස් තිබුණා.

එහිදී මුහුණ දෙන්නට සිදු වූ අත්දැකීම් විස්තර කළ එම රැකියා ජාවාරමට හසු වූ පුද්ගලයෙක් මෙලෙස පැවසුවා.

“අපි මේ ගමනට ඉඩම්, ගෙවල්, මෝටර් රථ, රත්තරන් බඩු විකුණා තමයි මුදල් සොයා ගත්තේ. රැකියා නියෝජිත ආයතනයට රුපියල් එකොළොස් ලක්ෂ පනස් දහසක් දුන්නා ඊට අමතරව අතේ වියදම්වලට, ඇදුම් පැළදුම් ගන්න තවත් විශාල මුදලක් වය වුණා. අපි පෙබරවාරි 09 කටුනායක ගුවන් තොටුපොළෙන් අබුඩායි බලා පිටත්ව ගිහින් එතැනින් වෙනත් ගුවන් යානයකින් රුසියාවේ සාන්ත පිට්ස්බර්ග් නුවරට ගියා. එතැනින් කිලෝ මීටර් 40ක් වගේ දුරකින් පිහිටි මහල් නිවාසයක අපි සති 02ක් වගේ කාලයක් හිටියා. ඒ, අතරතුරේ අපි රැකියාවට අවශ්‍ය බැංකු ගිණුම්, කාඩ්පත්, ආදායම් බදු ලිපි ලේඛන වැනි ලියකියවිලි සකස් කරගත්තා.
ඊට පස්සේ එතැන් සිට පැය 36ක් කිලෝ මීටර් 2,500ක් දුර ගෙවාගෙන හමුදා කදවුරකට අපිව එක්කන් ගියා.එහි පහසුකම් එච්චර නැහැ. වතුර හිඟයි, පට්ට සීතලයි. එම කඳවුර තාවකාලිකව පැලට් ගහලා ඉදිකරලා තිබුන එකක්. ඒකෙ සීතල අඩුකරන්න කදවුර මැද ගිනි මැලයක් ගහල තිබුණා. වැසිකිළි යන්න තිබුණේ කාණුවකට,
ඒ, කදවුරේ දී අපිට යුද අවි පුහුණුවක් ලබාදුන්නා. අපිට එන්නත් තුනක් ලබාදුන්නා. ඒවා රෝග බෝවීම වැළැක්වීමට, අවට පරිසරයේ ශීතල බලපෑම අවම කිරීමට, ඉක්මනින් තුවාල සුව වීමට කියලා තමයි ඔවුන් පැවසුවේ. ඒ කදවුර තුළ දී අපට තවත් ශ්‍රී ලාංකිකයන් 50 දෙනෙකු පමණ මුණගැහුණා.ඒ අය ශ්‍රී ලංකාවේ රැකියා නියෝජිත ආයතනය මගින් සහ වෙනත් සම්බන්ධතා මගින් මේ කදවුරට ඇවිත් තිබුණා. ඔවුන් අපිට කිව්වා හමුදා සේවයට බදවා ගන්න තමයි මේ ගෙනැවිත් තියෙන්නේ. දැන් ඉතිං ගැලවීමක් නැහැ කියලා. ඒත් මේ කදවුර තුළ ඉන්දියා, පාකිස්තාන, නේපාල, ඝානාව, ඇමෙරිකානු රටවල කළු ජාතිකයන්,රොමේනියා ගන්ගේරියාව බල්ගේරියාව වගේ බෝල්ටික් රටවල් කීපයකටම අයත් ජාතිකයින් කැමැත්තෙන්ම මෙහි සේවයට පැමිණ සිටියා.
ඒ, අතර රුසියානු – යුක්‍රේන යුද බිමේ ඉදිරි ආරක්ෂක වළල්ලට කිලෝ මීටර් 400ක් පසු පසින් සිටින ශ්‍රී ලාංකික යුද සෙබලෙක් එවලා තිබ්බ හඬ පටයකට සවන් දුන්නා. ශ්‍රී ලංකාවේ සිදු වූ යුද්ධයට හාත්පසින්ම වෙනස් යුද්ධයක් මෙහි කරන්නේ, තාක්ෂණික සහ විද්‍යාත්මක බවින් අනූන යුද්ධයක් මෙහි ක්‍රියාත්මක වනවා කියලා තමයි එකේ කියලා තිබුණේ. මිය යන හෝ තුවාල ලබන සෙබළුන් බේරාගැනීමට කිසිම කෙනෙක් ඉදිරිපත් නොවෙන බවත්, තමන්ම තුවාල වුවහොත්, ඉන් බේරී පැමිණ තුවාලවලට බෙහෙත් දමාගැනීම සිදුකර ගත යුතු බවත් ඒ හඬපටයේ කියලා තිබුණා.
ඒ, කදවුරේ ඉඳන් යුද බිමට යාමට කලින් අපේ සියලුම ඇදුම් පැළදුම් අයින්කරලා ඒවා ගිනි තියලා විනාශ කරන බවත්, ඒ වෙනුවට යුද ඇදුම් ලබාදෙන බවත් එහි සිටි අනෙක් ශ්‍රී ලාංකිකයන් අප පැවසුවා. ඒ කතාවෙන් පස්සේ අපි තවත් බය වුණා.
අපිව ඒ කදවුරට රැගෙන ආපු රුසියානු ජාතික හමුදා නිලධාරියාට, පිට්ස්බර්ග් නුවර ඉදලා අපගේ ලියකියවිලි ඇතුළත් ලිපිගොනු රැගෙන එන්න අමතක වෙලා, ඒ අවස්ථාව ප්‍රයෝජනයට අරන් අපි මෙහි තවත් රැඳිලා රැකියා කිරීමට අකමැති බව කිව්වා.ඒ අවස්ථාවේ ඔවුන් අපගෙන් එසේ අකමැති වීම පිළිබඳව විමසා සිටියා. අප තරයේ අකමැතියි කියලා කියපු නිසා ඔවුන් අපව ආපසු යැවීමට තීරණය කළා .
ඊට පස්සේ අපි කිලෝ මීටර් 40 කට වැඩි දුරක් අති දුෂ්කර ගමනක් පයින් ඇවිත් පිට්ස්බර්ග් නුවරට එන දුම්රියට ගොඩ වුණා. ඒ දුම්රිය ඉතා සුවපහසු විධිමත් එකක් අපගේ සියලුම ලියකියවිලි පරීක්ෂා කරලා බලා අපට සුවපහසු නිදන මැදිරි ලබාදුන්නා. අපි පෙබරවාරි 26 වෙනිදා කිලෝ මීටර් 2,500ක දුරක් පැය 36ක් පමණ කාලයක් ගෙවලා පිට්ස්බර්ග් නුවර ගුවන් තොටුපොළට ආවා. ඊට පස්සේ දවසේ දින අපි පිට්ස්බර්ග් නුවර ගුවන් තොටුපොළෙන් අබුඩාබි බලා පිටත්ව එන්න ගුවන් යානයයට නැග්ගා. අපිට ඇගට ලේ ටිකක් ඉනුවේ පිට්ස්බර්ග්වල ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පසු කර යෑමෙන් පස්සේ, එතකල් අපි බියෙන් හිටියේ, මොකද ඒ ඔවුන්ගේ රට නේ, ඊට පස්සේ තමයි අබුඩාබි නුවරට ඇවිත් අපහු ලංකාවට මේ විදියට ආවේ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14