spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රසික ආදරයත් ඉල්ලුමත් එහෙමමයි

මේ දිනවල සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ වැඩි කතාබහකට ලක්වන කලාකරිනියක් මෙවර සඳැල්ල කතාබහකට එකතු කර ගන්න හිතුවා. ගායනයෙන් රසික හදවත් තුළ ලැඟුම් ගත් ආදරණීය චරිතයක් වූ ඇය කේ. සුජීවා. 

• මේ දිනවල ගෙවන ජීවිතේ කොහොම ද? 

මේ දවස්වල ඉතා සාමයෙන් සතුටෙන් සැනසීමෙන් ජීවත් වෙනවා. 

• ඔබේ ගීත නිර්මාණයක් දකින්න ලැබුණෙ නැහැ?

ගීත නිර්මාණ දකින්න ලැබුණෙ නැත්තෙ මේ කාලෙත් එක්ක. ඒ වගේම සමාජ ජාලා වෙබ් අඩවි නිසා. මොකද ඒවත් එක්ක දැන් නිර්මාණවලට අනුග්‍රාහකය දක්වන පිරිස අඩුයි. සාමාන්‍යයෙන් සින්දුවක් කරද්දී මෙතෙක් කල් අපි ගායකයො වුණේ ඒ ගීතවලට අනුග්‍රාහකයෝ හිටියා. ගීත පටිගත කිරීමේ හැකියාව තිබුණා. ඒ අය අපෙන් ගීත සල්ලිවලට අරගෙන CD එකකට ගත්තා. ඒ මීට අවුරුදු 10, 15, කට පෙරදී. දැන් නව තාක්ෂණයෙ දියුණුවත් එක්ක ඒ හැමදේම වෙනස් වෙලා. මම මගේ ගීත කළේ රන්සිළු, නිල්වලා, එම් එන්ටටේන්මන්ට් වැනි සමාගම් එක්ක. එතැනින් පසුව ලොකු මුදලක් මගේ අතින් දරලා මම වීඩියෝවක් කරන්න උත්සාහ කළේ නැත්තෙ ප්‍රසිද්ධ වීමේ අවශ්‍යතාවක් මට තිබුණෙ නැති නිසා. මම හරි ප්‍රසිද්ධයි. හැමෝම මාව දන්නවා කියන දේ නෙමෙයි එහි තේරුම. සාමාන්‍යයෙන් කේ. සුජීවා කිව්වම ලංකාවේ පොඩි පිරිසක් හෝ මාව දැන ගත්තා. ඒ වැළඳ ගැනීම තියෙන නිසා අලුතින් මම දෙයක් කරන්න හිතුවේ නැහැ. මොකද එදා වගේම අදත් ප්‍රේක්ෂකයන්ගේ ආදරය සහ ඒ ඉල්ලීමේ අඩුවක් නැහැ. 

• සුජීවාගේ ගීතවලින් අරවින්ද යාය, ඉඟිමරන වගේ ගීතයක් කවදාවත් පැරණි වෙන්නෙත් නෑ නේද? 

ඇත්තටම අපේ ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ ජනප්‍රිය චරිත ගත්තත් පැරණි නොවන ගීත තියෙනවා. උදාහරණයකට ගත්තොත් නිහාල් නෙල්සන් මහත්මයා අදත් කියන්නෙ එතුමාගේ පැරණි ගීත. ඔහුව අදත් වේදිකාවට ලොකු ඉල්ලුමක් ඇතිව ගෙන්වන්නෙත් ඒ ගීත ශෛලිය. ඉතින් මමත් බොහෝ විට එවැනි චරිත ආදර්ශයට ගන්නවා.  
මම ඒ තැනට ආවා කියලා මම හිතන්නෙ නැහැ. නමුත් මම හිතනවා තමන්ගෙ ශෛලියකින් පවතින ගීත ටිකක් කළාම ඒවා කවදාවත් පරණ වෙන්නෙ නැහැ. නමුත් ඉදිරියේ දී මගේ නවතම ගීත නිර්මාණයක් වීඩියෝවක් එක්ක එළිදක්වන්න බලාපොරොත්තුවක් තියෙනවා. මගේ පවුලෙ අයගෙ සහ ළඟම පිරිසගෙ ඉල්ලීම් මත. 
කොහොමත් මට දැන් හිතෙන්නෙ ලොකු නිර්මාණයක් වියදම් කරලා කරන්නවත් මගේ ගමන මට වැඩිපුර දියුණු කර ගන්නවත් නෙමෙයි. මට ඕනෑ මගේ දරුවෝ දෙන්නගේ අංජලී සහ රෝස්ගෙ සංගීත ගමන ශක්තිමත් කරන්න. ඒ දේ මේ කාලෙ මට තියෙන ලොකු හැඟීමක්. 

• දියණියන් දෙදෙනාටම ඔබේ හැකියාව පිහිටා  තිබීම ගැන මොකද හිතෙන්නෙ? තිදෙනාගෙම නිර්මානයක් එළිදක්වන්න වගේ සූදානමක් නැද්ද? 

අපි තුන්දෙනා කොහොමත් වැඩ කරන්නෙ එකට. ඒ දෙන්නටම ගායන හැකියාව පිහිටා තිබීම ගැන මම සතුටු වෙනවා. ඒක මම හිතන්නෙ පෙර පිනක්. වාසනාවක් කියලා. මොකද බැරි වෙලාවත් දෙන්නගෙන් එක්කෙනෙකුට හෝ සින්දු කියන්න නොහැකි වුණා නම් මේ ගමන මට තනි කෙනෙක් එක්ක යන්න වෙන්නෙ. මෙතැන එහෙම දෙයක් නැහැ. 
දෙන්නටම එක හා සමානව ගායනා කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම වාදනය පැත්තෙනුත් හැකියාවන් පිහිටලා තියෙනවා. ඉතින් ඒ දක්ෂතාවයන් මගෙන් ආවා කියලාවත්, කව්රුන් හෝ හුරු පුරුදු කළාවත් කියන්න බැහැ. එය උපතින්ම පිහිටන්න ඕනෑ දෙයක්. ඒ හැමදේටම පෙර පිනක් තියෙන්න ඕනෑ කියලා මම විශ්වාස කරන්නෙ. 

• අපිට පේන්නෙ ඔබ සහ දියණියන් දෙදෙනා අක්කයි නංගිලා දෙන්නයි වගේ? තුන් දෙනා ටික් ටොක් හරහාත් රසවින්දනයක් ප්‍රේක්ෂකයන්ට ලබා දෙනවා? 

අපි තුන්දෙනා ඉතින් විවේකීව ඉන්න වෙලාවට ඒ වගේ නිර්මාණ කරනවා. අලුත් වැඩ කිහිපයක්ම ඒ විදියට සිදුවුණා. ජීවිතේ ඉතින් සතුටින් හිනාවෙලා ගත කරන්න මම ගොඩක් කැමතියි. ඉතින් ගොඩක් දෙනෙක් අපි තුන් දෙනාම දකිද්දි කියනවා පෙනුම එක වගේ එහෙම කියලා. 
ඒ දැන් ඒ දෙන්නාත් මගේ ගානටම ඉන්න නිසා වෙන්නත් ඇති. හැඩ හුරුවත් කතා කරන විදියත් එක වගේ කියලා තමයි බොහෝ දෙනෙක් කියන්නේ. සමහර වෙලාවට දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර දක්වද්දී මම කියලා රැවටිලා දුවලාත් එක්ක කතා කරලා තියෙනවා. ඉතින් එක සමාන කටහඬවල් පවා පිහිටලා තියෙනවා. ඒ වගේම අපි හඳුන්වලා දීපු දෙයක් තමයි අම්මලා, දුවලා එක වර්ගයේ ඇඳුම් අඳින එක. 
අපි කොහෙ හරි යද්දි වුණත් සමහර අවස්ථාවල රූපවාහිනි වැඩසටහන්වලට යද්දි වුණත් එකම විදියෙ ඇඳුම් නිර්මාණ, පාවහන්, හැමදේම එකම විදියට අඳින්නෙ පළඳින්නෙ. ඒ දේත් අපේ වෙනම විලාසිතාවක් වුණා. ඉන්පසුව බොහෝ දෙනෙක් අම්මලා දුවලා එක වර්ගයෙන් අඳින්න පළඳින්න පටන් ගත්තා. මේ හැමදේමත් එක්ක තමයි ඉතින් අපි එකම වගේ අක්කලා, නංගිලා වගේ කියලා බොහෝ දෙනෙක් කියන්නෙ. 

• දරුවෝ ලොකු මහත්වෙලා අම්මගේ ගානටම එද්දි ඒ දෙස ඈත ඉඳලා  බලන් ඉද්දි කොයි වගේ හැඟීමක් ද තියෙන්නේ? 

ඉස්සෙල්ලම කියන්න ඕනෑ ඒ දෙන්නා කොයිතරම් උස්මහත් වුණත් මම තවම කතා කරන්නෙ බබා කියා.  එහෙම තමයි මම කියන්න කැමති. ඒ දෙන්නා උස් මහත් වෙලා මගෙ ගානට ඇවිල්ලා මම කරන දේවල් කරන්න, ඩ්‍රයිව් කරන්න, ෂොපින් කරන්න, මගේ වැඩවලට උදව් කරන්න ඒ වගේ දේවල් කරද්දී මම ශක්තිමත් අම්මා කෙනෙක් විදියට සාර්ථක ගමනක්  ඇවිල්ලා කියලා දැනෙනවා. එයාලා පොඩි කාලෙ ඉඳන් අම්මා, තාත්තා කියන ඒ චරිත දෙකම දැක්කෙ මාව. ඉතින් තනි කෙනෙක් විදියට කාගෙවත් උදව්වක් නැතිව මගේ දරුවෝ දෙන්නා මේ තැනට ගෙනාපු එක ගැන හරිම සතුටුයි. ඒ නිසා ඒ දෙන්නා උස් මහත් වෙලා මගේ ගානට ඉන්න එක ගැන මම දුරින් දකින්නේ ගොඩක් සතුටින්. 

• කුස්සියේ වැඩ කටයුතුවලට දියණියන් දෙදෙනාගෙන් උදව් නැද්ද? 

ඒ වැඩකටයුතුවලට දෙන්නා සම්බන්ධ වෙන්නෙ නැහැ. නමුත් දෙන්නටම තනි තනිව උයන්න පුළුවන්. රෝස් උයන්න ඉගෙන ගත්තා. අංජලීටත් රසට උයන්න හැකියාව තියෙනවා. නමුත් දෙන්නටම තියෙන්නෙ සැඟවුණු හැකියාවක්. දෙන්නා කුස්සියට ලූණු ගෙඩියක්වත් කපලා දෙන්න එන්නෙත් නැහැ. මමත් ඉතින් ඒ දෙන්නාගෙන් ඒ දේවල් බලාපොරොත්තු වෙන්නෙ නැහැ. මොකද මම කැමතියි මගේ අතින්ම ඒ දේවල් සිදුවෙනවට.
ඒ දේ මම කරන්නෙ හරිම සතුටින්. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනෑ දෙන්නාම හරිම කීකරු දරුවො දෙන්නෙක්. දෙන ඕනෑ දෙයක් කනවා, ඕනෑම දෙයක් අඳිනවා. කිසිම කරදරයක් නැතිව ජීවත් වෙන්නෙ. 

• ඔබ උපතින් බෞද්ධයකු නොවුනත් බුදු දහමට වැඩි නැඹුරුවක් දක්වනවා නේද?

ඔව්. ඇත්තටම ඒ දේ සිදුවුණේ මීට අවුරුදු 10, 11කට පෙරදි වගේ. ඒ මම අහම්බෙන් මගේ දුවගෙ ආච්චි අම්මව සිල් සමාදන්වීම සඳහා වරකාපොල පන්සලකට ගිහින් දාන්න ගියා. ඒ ගමනෙදී වරකාපොල ගල උඩ පන්සලේ හාමුදුරුවන්ගෙන් මට අහම්බෙන් වගේ බණත්  අහන්න ලැබුණා. 
ඒ මස්, මාලු කන එක ගැන, දිවට දැනෙන රස ගැන ඒ කතාවෙ තිබුණෙ. ඉතින් එදා ගෙදර ආවම මට ඒ කතාමයි ඔළුවට එන්නෙ. උයද්දී මතක් වෙනවා. මාළු ටැංකිය දකිද්දී මතක් වෙනවා. ඒ දේවල් ඔළුවෙ තියෙද්දී ඒ අතරේ මගෙ පුංචි බබා බලා ගන්න අපේ ගෙදරට මෙහෙකාරියක් එකතු වෙනවා.  ඇය අම්පාරේ අක්කයි, නංගියි තමයි එකතු වෙන්නේ. 
ඒ දෙන්නා ආගමට, දහමට හරිම ලැදියි. චන්ද්‍රිකා සහ ශ්‍රියානි. ඒ දෙන්නා අපේ ගෙදර බුදුන් වඳින්න මගෙන් ඉඩක් ඉල්ලුවා. ඉතින් මම බුදු පිළමයකුත් ඒ අවශ්‍ය දේවලුත් ගෙනල්ලා ඒ වෙනුවෙන් අවස්ථාව ලබා දුන්නා. ඉතින් ඒ විදියට තමයි බුදු දහමට පෙළඹවීම සිදුවුණේ. ඉතින් ඒ පෙළඹීමත් එක්ක මට ධර්මය ඉගෙන ගන්න ඒ පිළිබඳ හොයන්න ආසාවක්  ඇතිවුණා. දෙමළ කෙනෙක් වුණත් මට බුදු දහම ගොඩක් හිතට වැදුණා. ඉතින් මට හිතෙනවා මගෙ පෙර පිනක් තිබුණ ද කියලා මේ ධර්මය ගැන ඉගෙන ගන්න. 

• ඒ නිසාමද ඒ පිළිබඳ ග්‍රන්ථයක් ලියන්නත් සිත් පහළ වුණේ?

ඇත්තටම ධර්මය ගැන ඉගෙන ගන්න. නැත්නම් මේ පිළිබඳ දැන ගන්න මම ගොඩක් උත්සාහ කළා. ඒ ධර්මය පිළිබඳ දෙමළ භාෂාවෙන් හෝ ඉගෙන ගන්න. මොකද මට සිංහල ඉක්මනටම කියවන්න බැහැ. 
ලොකු බර වචන කියවන්නත්, තේරුම් ගන්නත් අමාරුයි. ඒ නිසා දෙමළ භාෂාවෙන් හෝ ඉංග්‍රීසි භාෂාවෙන් කොහේ හෝ මේ ධර්මය පිළිබඳ ලියවිලා තියෙනවද කියන දේත් හොයලා බැලුවා. එහිදී මට ලැබෙනවා ඉංග්‍රීසි ත්‍රිපිටක, පාලි භාෂාවෙන් ලියවුණු. නමුත් ඒවත් හැම දේම තේරුම් ගන්න බැරි ගැටලු  ඇතිවුණා. ඉතින් මට ඕනෑ වුණේ දෙමළ භාෂාවෙන් මේ පිළිබඳ ලියවිලා තියෙනවා ද බලන්න. නමුත් පොදුවේ ඒ සම්බන්ධව දෙමළෙන් සමහර ග්‍රන්ථවල සඳහන් වෙලා තිබුණත් එකින් එකට මුල සිට එවැනි ග්‍රන්ථ නැහැ. ඉතින් මම වගේ තවත් කොහෙ හරි දෙමළ මනුෂ්‍යයෙක් ඇති මේ ගැන හොයන්න බලන්න. ආසාවෙන් ඒ නිසාම මම ‘බුද්ධ වන්දනාව’ කියන එක දෙමළ භාෂාවෙන් ලියන්න  පටන් ගත්තා. ඉතින් ඉදිරියේ දී ඒ ග්‍රන්ථය එළිදක්වන්න සූදානමක් තියෙනවා. ඉස්සෙල්ලම මම ඒ පිළිබඳ තේරුම් අරගෙන අවබෝධ කරගෙන ඉන්න ඕනෑ. 
ඉතින් ඉදිරියට ඒ දේ සිදුවෙයි. මම ගොඩක් ආසාවෙන් ඉන්නවා මේ ධර්මය ගැන දැන ගන්න. බෞද්ධ රටක ඉපදිලා ඒ ධර්මය ඉගෙන ගැනීමේ වාසනාව මට තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ වෙසක් මාසයේ මගේ ගීතයක් හෝ පිරිසකගේ එකතුවෙන් නිර්මාණය වන වෙසක් ගීතයක් එක්ක පොතක් එළිදක්වන්න තමයි හිතාගෙන ඉන්නේ. 

ධනු විජේරත්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?