අනුරාධපුර – රඹෑව ප්‍රදේශයේදී සිදුවූ බිහිසුණු බස් රථ අනතුරේදී ජීවිතක්ෂයට පත් වූ ශ්‍රී ලංගම බස් රථයේ රියදුරු විසින් අනතුර සිදු වන අවස්ථාවේදී ගංජා සහ මත්පැන් පානය කර සිටි බව සිදු කරන ලද මුත්‍රා සාම්පල් පරීක්ෂාවකින් හෙළි වී ඇති බවයි වාර්තා වෙනවා.
අනතුර සම්බන්ධයෙන් පොලිසිය විසින් සිදු කරන ලද මූලික විමර්ශනවලදී සහ වෛද්‍ය පරීක්ෂණවලදී තොරතුරු රැසක් අනාවරණය වී තිබෙන බව මිහින්තලේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිසානායක සඳහන් කරනවා.
අනුරාධපුර මිහින්තලය පොලිස් වසමේ මහනුවර – යාපනය (ඒ-09) මාර්ගයේ රඹෑව වැලිඔය හන්දිය ආසන්නයේදී පසුගිය (10) වැනිදා උදෑසන බස් රථ තුනක් ගැටීමෙන් සිදුවූ රිය අනතුරෙන් ලංගම බස් රථ රියැදුරෙකු සහ කාන්තාවන් දෙදෙනකු ඇතුළු හතර දෙනෙක් මියගොස්, තවත් මගීන් 76 දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
මෙම අනතුර සිදුවී තිබුණේ, ජනකපුර සිට කොළඹ දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් සහ අක්කරපත්තුව සිට යාපනය දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් බවට තොරතුරු හෙළිවී තිබුණා.
එහිදී වව්නියාව සිට කොළඹ දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක්ද, කොළඹ දක්වා ධාවනය වූ ලංගම බස් රථයේ පසුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබූණා.
අනතුරින් එක් ලංගම බස් රථයක රියැදුරෙකු හා මගීන් තිදෙනෙකු මියගිය අතර මරණකරුවන් අවුරුදු 47 හා 56 වයස්වල පසුවන ඇටවීරගොල්ලෑව සහ රිදිගම ප්‍රදේශවල පදිංචිකරුවන් බවටත් වාර්තාවුණා.
