රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන්ගේ ලකුණු අඩුකිරීමේ ක්‍රමවේදය ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.
අමාත්‍යවරයා පවසන්නේ මෙය අද (28) දිනයේ සිට මස 06ක නියමු ව්‍යාපෘතියක් ලෙස පළමුව ආරම්භ කරන බවයි.
අද (28) පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
මෙරට මාර්ගවල සිදුවන රිය අනතුරු අවම කිරීමේ අරමුණින් රියදුරන්ගේ ලකුණු අඩුකිරීමේ ක්‍රමවේදයක් ”DEMERIT SYSTEM” හඳුන්වා දීමට තීරණය කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
වසර දෙකක කාලයක් සඳහා රියදුරන්ට නිශ්චිත ලකුණු සීමාවක් පිරිනමා ඔවුන් මහා මාර්ගයේ සිදුකරන රථවාහන වැරදිවලට අදාළව ලකුණු අඩුකිරීමට එමඟින් සිදුකෙරෙනවා.
ඒ, අනුව අමාත්‍යවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කර සිටියේ මෙම ක්‍රමවේදයට හැඩගැසීම සඳහා අද (28) දිනයේ සිට මාස 06ක කාලයක් රියදුරන්ට ලබාදී ඇති බවයි.
මේ අතර රථවාහන වැරදිවලට අදාළව දඩගෙවීමට මේ වන විට හඳුන්වාදී ඇති මාර්ගගත ක්‍රමවේද තවදුරටත් පුළුල් කරමින් ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.













