රට යන්න සිහින මවන කුණු ට්‍රැක්ටරේ කොල්ලා

නව පරපුරේ රංගන ශිල්පීන් අතර වේදිකා නාට්‍ය රංගන ශිල්පියකු ලෙස පුංචි තිරය, සිනමාව තුළ සිය දක්‍ෂතාව තුළින් තමාටම අනන්‍ය වූ වේදිකාවක් තනාගත්, යෞවනයන්ගේ හදත් ආකර්ෂණය කරගත් ඔහු රන්දික ගුණතිලකයි. චරිතාංග නළුවෙකු ලෙස විවිධ වූ චරිත හරහා ප්‍රේක්‍ෂකාගාරයේ මුණගැහෙන ඔහු මේ දිනවල විකාශනය වන ‘‘රැල්ල වෙරළට ආදරෙයි, තුම්පනේ, පොදු’’ ටෙලි නාට්‍ය හරහා දැක ගන්නට ලැබෙනවා. අද කතාබහ රන්දික ගුණතිලක සමඟයි.

මලිඳු රන්දික ගුණතිලක කොහොමද රන්දික ගුණතිලක වෙන්නේ?

මම පාසල් කාලේ ඉගන ගන්න ලොකු අදහසක් තිබුණු කෙනෙක් නෙමෙයි. විශ්වවිද්‍යාලයට යන්න මගේ හීනෙකවත් තිබුණේ නෑ. මාව කැම්පස් යවන බලාපොරොත්තුව තිබුණේ මට A/L උගන්නපු උපාලි සපුතන්ත්‍රී සර්ට. සර් මට ඉගැන්නුවේ රුපියලක්වත් අය නොකර ‘‘දවසක් උඹ ඔය වත්තට වෙලා ඉන්න ඕන කෙනෙක් නෙමෙයි උඹ ඔතනින් එළියට යන්න ඕන කියලා සර් කිව්වා’’ උඹ මලිඳු රන්දික නෙමෙයි අද ඉඳලා රන්දික ගුණතිලක කියලා මාව වෙනස් කළේ උපාලි සර්. මට ඉගැන්නුවේ සර්ගේ ගෙදර තියාගෙන. ඔහු මාව විශ්වවිද්‍යාලයෙත් යැව්වා. අම්මා තාත්තා වගේම විශ්වවිද්‍යාල කාලේ මුදල්වලින් සහ සියලුම දේවල්වලින් උපාලි සර් මට උදව් කළා. අද ඉන්න රන්දිකගේ මුල හැදුවේ උපාලි සර්. හැබැයි මගේ මුළු ජීවිතේම වෙනස් කළේ ප්‍රසන්නජිත් අබේසූරිය සර්.

ඒ ආපු පාර දිගේ රන්දිකට මුණගැහෙනවා විවිධ චරිත. ‘‘රැල්ල වෙරළට ආදරෙයි’’ ශිවා ව මුණගැහෙන්නේ කොහොමද?

මට මේ ටෙලි නාට්‍යයට ආරාධනා කරන්නේ එහි අධ්‍යක්‍ෂවරයා නිවන්ත ප්‍රසාර මහත්මා. මට කතා කරලා කිව්වා දකුණු ඉන්දියානු චිත්‍රපටයක් ආශ්‍රයෙන් ටෙලි නාට්‍යයක් කරනවා. එහි ප්‍රධාන චරිතයට කැමතිද කියලා නිවන්ත ඇහුව්වා. මට ඒ වගේ චරිතයකට බොහොම ආසාවෙන් හිටියේ. ඒ නිසා වැඩේට මම කැමති වුණා. තව දෙයක් මේ ටෙලි නාට්‍යයට යන්න ප්‍රධානම හේතුවක් වුණේ මහේන්ද්‍ර පෙරේරා මහත්මා මගේ තාත්තාට රඟපාන එක.

‘‘තුම්පනේ’’ රන්දිකට මුණගැහෙන වෙනස් නිර්මාණයක්?

කුණු ට්‍රැක්ටරයක වැඩ කරන කොල්ලෙකුගේ චරිතයක් මම එහි නිරූපණය කරන්නේ. ඒ කොල්ලාගේ සිහිනය රට යන එක. මට ලැබුණු අලුත් විදිහේ අද්දැකීමක් ඒක. මුලින්ම ඒ පරිසරයට පුරුදු වෙන්න ගොඩක් අමාරු වුණා. කොලොන්නාවේ කොල්ලෙක්නේ… ඉතින් ඕන දේකට ඔරොත්තු දෙනවා.

මේ දවස්වල සිනමාවෙනුත් ඔබ මුණගැහෙනවා. ඒ ගැනත් කතා කරමු?

මගේ අදහස අනුව පුංචි තිරයට වඩා සිනමාව දැවැන්තයි. ඇත්තටම මම කැමති චිත්‍රපටවලට. මම දැනට චිත්‍රපටි කිහිපයක රඟපාලා තියෙනවා. ඉන් දෙකක් තිරගත වුණා. තව කරපු චිත්‍රපටි 3ක් තියෙනවා ඉදිරියට තිරගත වෙන්න. ඇත්තටම මම කැමති සිනමා නළුවෙක් වෙන්න.

මේ දවස්වල අරුණ ජයවර්ධනගේ ‘‘හැපි බර්ත්ඩේ’’ චිත්‍රපටය තිරගත වෙනවා. වෙනස්ම ප්‍රතිචාර ලැබෙනවා. මොකද මම ඒකේ ආදරණීය හොරෙක්.

වේදිකාවෙන් ආපු රන්දිකට දැන් වේදිකාව අමතක වෙලාද?

අපෝ නෑ. නළුවෙකුට ඉගෙන ගන්න පුළුවන් හොඳම තැන තමයි වේදිකාව. වසර හයක්ම මම වේදිකාවේ එක දිගට හිටියා. වේදිකා නාට්‍යයක් කියන්නේ ලොකු කාලයක් කැප කරන්න ඕන තැනක්. කාලය පිළිබඳ ගැටලුව නිසා මම මේ දවස්වල නම් වේදිකාවෙන් ටිකක් ඈත් වෙලා ඉන්නේ. ඒත් මම ජීවිතේ ආසම තැන වේදිකාව.

රන්දික කියන්නේ කොලොන්නාවේ කොල්ලෙක්. හැදුණු වැඩුණු ගොතටුවට ආපහු ගියොත්?

මම ඉපදෙන්නේ කොලොන්නාව, ගොතටුවේ, මල්වත්ත කියන වත්තේ. මගේ තාත්තා වෙල්ඩින් කාර්මික ශිල්පියෙක්. අම්මා අපේ තාත්තා බිරිඳ දරුවන්ගේ අම්මා. මම දන්න කාලේ ඉඳලා අපේ අම්මා උදේ 4 ට ඇහැරෙනවා. හැමෝටම පස්සේ නින්දට යනවා. ඒ තමයි අපේ අම්මා. මට ඉන්නේ අයියලා දෙන්නයි, නංගිලා දෙන්නයි.

දවසින් දවස ජනප්‍රිය වෙද්දි වතු පරිසරය ගැලපෙන්නේ නෑ කියලා හිතිලා නැද්ද?

කවදාවත් නෑ. මම නළුවෙක් විදිහට මගේ වත්තේ කවුරුත් මාව භාරගන්නේ නැහැ. මම ලෝකෙටම ජනප්‍රිය වුණත් ගොතටුව, මල්වත්තට මම එදා හිටපු රන්දිකයාම තමයි. මම කොලොන්නාවේ වත්තක ඉපදුන කෙනෙක් කියන්න කිසිම වෙලාවක ලැජ්ජා නැහැ. මට රඟපාන්න, නළුවෙක් වෙන්න අත්දැකීම් ලැබුණේ මම ජීවත් වුණු වත්තෙන්. ගොඩක් අය, දේවල් ලැබෙනකොට තමන් ජීවත් වුණු පරිසරයෙන් මිදෙන්න උත්සාහ කරනවා. ඒත් මම කවදාවත් කොලොන්නාව, ගොතටුව, මල්වත්ත දාලා යන්නේ නැහැ. තාමත් මගේ මාලිගාව එතන.

ඇත්තටම රන්දිකගේ ජීවිතේ වෙනස් වුණු තැන කොතැනද?

කලාව මගේ ඇඟේ තිබුණේ පුංචි කාලේ ඉඳලා. මම මුලින්ම ගියෙ ගමේ ඉස්කෝලෙට. කොලොන්නාව හෙන්රි ඕල්කට් විද්‍යාලයට. එතනින් මම එනවා කොළඹ ඩී.එස්. සේනානායක මහා විද්‍යාලයට. උසස් පෙළ පන්තියෙදි තර්ක ශාස්ත්‍රය උගන්නපු මිස් එක්ක ප්‍රශ්නයක් දාගෙන පීරියඩ් එක කට් කරලා පුස්තකාලයට වෙලා ඉන්නකොට අපේ නාට්‍ය හා රංග කලාව උගන්නපු සර් ඇවිල්ලා දවසක් කිව්වා උඹට ලොජික් අමාරු නම් වරෙන් නාට්‍යය පන්තියට කියලා. එතකොට A/L වලට තිබුණේ මාස ගාණයි. ඉඳුනිල් සර් පොරොන්දු වුණ විදිහටම මාව ගොඩ දැම්මා. එතනින් සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇවිල්ලත් මට රඟපාන්න උනන්දුවක් තිබුණේ නැහැ.

කැම්පස් එකේ දෙවෙනි වසරෙදි මාව වැටුණා Acting Courses එකට. මම එදා ප්‍රසන්නජිත් අබේසූරිය සර් එක්ක හරියට රණ්ඩු වුණා. ‘‘රඟපාන්න බැරි මාව ඇයි මේ විෂයට දැම්මේ කියලා’’ උඹ පණ්ඩිතයෙක් වෙන්නේ නැතුව මම කියන දේ කරපන්කෝ උඹට දවසක තේරේවි කියලා ප්‍රසන්නජිත් සර් එදා මට කිව්වා. ඇත්තටම මගේ ජීවිතේ කලාව පැත්තෙන් වෙනස් කරපු මුල්ම නාට්‍ය ගුරුවරයා වුණේ ප්‍රසන්නජිත් සර්.

ඒ වගේම මේ නාට්‍ය කෙරුවාව එපා වුණ තැනකුත් තිබුණා. ඒ ‘‘අඩ කුඹුයි’’ නාට්‍යය රඟපාන්න වේදිකාවට ගියහම මට එකපාරටම දෙබස් අමතක වුණා. මම නාට්‍ය අතරමඟ නතර කරලා ප්‍රේක්‍ෂකයන්ට සමාවෙන්න කියලා ගෙදර ගියා. මම ගැන මටම වැඩිපුරම ලැජ්ජා හිතුණේ එදා. මම ආයේ කවදාවත් රඟපාන්නේ නෑ කියන මට්ටමටම කඩා වැටුණා. එදා කඩා වැටුණු මාව ගොඩ ගත්තෙත් ප්‍රසන්නජිත් සර්. එදා වේදිකාවේ අනාථ වුණු මම 2019 නැගී එන නළුවා විදිහට සම්මාන ගනිද්දී මම ආයේ ඉපදුණා වගේ හැඟීමක් ආවා.

මේ වෙනකොට රන්දික පෙම්වතෙක්ද?

මම සදාතනික පෙම්වතෙක්. හැබැයි පෙම්වතියක් නැහැ. මට ආදර සම්බන්ධතා ගොඩක් තිබිලා තියෙනවා. රංගනය නිසා මට ආදරය මඟහැරුණා.

ඒ කියන්නේ ලස්සන ගෑනු ළමයෙක් දැක්කොත් රන්දික අහක බලන් යනවද?

පිසුස්ද? ඇහැට ප්‍රිය දේවල් දැක්කම අහක බලන්නේ නෑ. ලස්සන ගැහැනු ළමයෙක් දැක්කම ළඟට ගිහින් ඔයා ලස්සනයි කියනවා. ඒ මගේ හැටි. හැබැයි මම ගෑනු ළමයින්ට ගරු කරනවා.

රන්දික ආස කරන වාහනයක් තියෙනවද?

අදටත් මට වාහනයක් නෑ. මම අදටත් යන්නේ ත්‍රීවීල්, එහෙම නැත්නම් බස් එකේ. මම ආසම වාහනය බයික් එක.

(නදීශා අතුකෝරළ)

image ceb6ff1845
image 4cfe8e39b9
image 0974625ff5
image 90e76871c1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37