රටේ නව ආර්ථික ක්‍රමයක් සහ නව දේශපාලන ක්‍රමයක් ද නිර්මාණය විය යුතුයි- ජනපති

රට තුළ නව ආර්ථිකයක් ගොඩනඟන විට නව දේශපාලන ක්‍රමයක් ද නිර්මාණය විය යුතු බවත්, වගකීම් භාරගෙන කටයුතු කළ හැකි පිරිසක් මෙන්ම නොබියව සත්‍ය ප්‍රකාශ කරන පිරිසක් එම දේශපාලන ක්‍රමවේදය තුළ බිහිවිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ජාතික බැංකුකරුවන්ගේ සංගමය විසින් කොළඹ ගාලු මුවදොර හෝටලයේ ඊයේ (05) සංවිධානය කර තිබූ බැංකුකරුවන්ගේ සංසඳයට සහභාගී වෙමින්.

රට හමුවේ ඇති ආර්ථික අභියෝගය තමා ජනතාව හමුවේ නොබියව ප්‍රකාශ කළ බව මෙහි දී පැවසූ ජනාධිපතිවරයා රට එම අර්බුදයෙන් ගොඩගැනීමට හැකි නිවැරදි වැඩපිළිවෙළ ද මේ වන විට පැහැදිළිව රටට ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළා.

එම වැඩපිළිවෙළ හැර වෙනත් වැඩපිළිවෙළක් රටට නොමැති බව පැවසූ ජනාධිපතිවරයා සිහින ලෝකවල කටයුතු නොකර රටට අවශ්‍ය වැඩපිළිවෙළ හඳුනාගෙන රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට සහාය වීම සියලුදෙනාගේ වගකීම බව ද පැවසුවා.

ඇතැමුන් ආජර්ටිනාවේ මාටින් ගුස්මාන් ආදර්ශයට ගෙන කථා කළ ද ඔහු අසාර්ථක පුද්ගලයෙකු බව පැවසූ ජනාධිපතිවරයා තවත් පිරිසක් ලෝක නායකයන්ගෙන් මුදල් ඉල්ලාගෙන එන ලෙස තමන්ට පැවසුවත් සිංහල ජාතිය කිසිදා සිඟමන් යැදි ජාතියක් නොවන අතර ස්වඋත්සාහයෙන් නැගි සිටින ජාතියක් බව ද අවධාරණය කළා.

අපනයන ආර්ථිකයක් මත පදනම්ව රට වේගවත් සංවර්ධනයක් කරා ගෙන යාම තම අරමුණ බව පැවසූ ජනාධිපතිවරයා අපනයන ආර්ථිකයක් ඇති කිරීම සඳහා අවශ්‍ය නීති පද්ධතිය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත්, එම වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යාමේ දී බැංකු පද්ධතියට විශාල වගකීමක් පැවරෙන බවත් කියා සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ,

“අද අප ආර්ථික වශයෙන් බොහෝ දුර පැමිණ තිබෙනවා. එදා ජෙට්වින් හෝටලයේ සිට මෙම ගාලු මුවදොර හෝටලය දක්වා සිදු වු දේ මම අමුතුවෙන් කිවයුතු නැහැ. ඒ ගිය ගමන, මාගේ නිවසත් ගිනිබත් කරගෙන ගියා. කෙසේ හෝ අද අප ඉදිරියට පැමිණ තිබෙනවා. නමුත් තව දුර යාමට තිබෙනවා. අපේ බැංකු පද්ධතිය ආරක්ෂා කර නොගතහොත් ආර්ථිකය ආරක්ෂා කර ගන්න නොහැකි වන බව මම එදා පැහැදිළිව ප්‍රකාශ කළා. බැංකු පද්ධතිය බිඳ වැටුණහොත් ආර්ථිකය නැති වෙනවා.
එදා මට මේ රට භාර ගැනීමට සිදු වුණා. අප සියලුදෙනා එකතුව රටේ ආර්ථිකය නඟා සිටුවීමේ වැඩ කටයුතු ආරම්භ කළා. අද එහි ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා. මේ සියල්ල අපට එකවර ලැබෙන්නේ නැහැ.
ණය ආපසු ගෙවීමේ දී වසර 04ක් ණය නොගෙවා සිටීමටත්, ගෙවිය යුතු ණය මුදලින් ඩොලර් බිලියන 08ක් අඩු කිරීමටත් දැන් කටයුතු කර තිබෙනවා. ඒ වගේම රටේ ආර්ථිකය නැවත දියුණුවෙමින් පවතිනවා. දැන් අප රටක් ලෙස සන්ධිස්ථානයකට පැමිණ තිබෙනවා. අපට රුපියල් බිලියන 08ක ණය සහනයක් ලැබුණ නිසා අපට දැන් අලුත් ආර්ථිකයකට යාමට ඉඩ කඩ තිබෙනවා. එහිදී අපනයන ආර්ථිකයක් ඇති කිරීම සඳහා අවශ්‍ය නීති පද්ධතිය අප මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
අප මෙතැනින් ඉදිරියට යා යුතුයි. මෙහිදී විශාල වැඩකොටසක් බැංකු පද්ධතියට හිමි වෙනවා. අපි මේ මුදල් සොයා ගන්නේ කොහෙන් ද, අප විදේශ ආයෝජන ගෙන ඒමට අවශ්‍යයි. එවිට බැංකු දියුණු වෙනවා. අප තවම මෙම ඉලක්කයට ළගා වී නැහැ.
අප කැඩුණු ආර්ථික ක්‍රමය සකස් කරගෙන ඉදිරියට ගියත් කැඩුණු දේශපාලන ක්‍රමය තවම සකස් කරගෙන නැහැ. එදා නායකයන් බයේ දිව්වා. එවන් තත්ත්වයක් තිබෙනවා නම් , මොකක්ද මේ රටේ තිබෙන දේශපාලන නායකත්වය.
එවන් නායකයන්ට රට ඉදිරියට ගෙන යන්න පුළුවන්ද ? එදා ඔවුන් බිය වී පැන ගියේ ඔවුන් ළඟ විසඳුමක් නොතිබූ නිසයි.
හිටපු ජනාධිපතිවරයා ඉවත් වූ පසුව මේ රටේ සාමය සහ ස්ථාවරත්වය බිඳ වැටෙන්න ගියා. ඇතැම් අය මට අගමැතිකමින් ඉවත් වෙන්න කිව්වා. එහෙම දේශපාලන ක්‍රමයකින් රටක් ඉදිරියට ගෙන යන්න පුළුවන් ද අපි ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඉදිරිපත් කළ විට සුනිල් හ‍ඳුන්නෙත්ති මහතා නඩුවක් දැම්මා. එම නඩුවෙන් කියැවෙන්නේ “ආනයන පදනම් කරගත් ආර්ථිකයක් අවශ්‍යයි” කියලා. අද අපට ආර්ථික ගැටළුවකට මුහුණ දීමට සිදුවෙලා තිබෙන්නේ අප ආනයන ආර්ථිකයක කටයුතු කිරීම නිසයි.
ඒ, වගේම තව කෙනෙක් ආර්ජන්ටිනාවේ මාටින් ගුස්මාන් ගැන කියනවා. ඔහු අසාර්ථක පුද්ගලයෙක්. නැත්නම් ලෝකය වටේ ගිහින් නායකයන්ගෙන් සල්ලි ඉල්ලගෙන එන්නලු. මම හිඟාකන මිනිහෙක් නෙවෙයි, ඒ වගේම සිංහල ජාතිය හිඟාකන ජාතියක් නොවෙයි. ඒ වගේම ඇතැම් අය තවම කියනවා අලුත් දෙයක් ඕන කියලා. ඒ කියන්නේ ආනයන පදනම් කරගත් ආර්ථිකයක්ද
මම දවසක් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගෙන් ඇහුවා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එපා කියද්දි, ආර්ථික ගැටලුවක් තිබෙද්දි ඇයි බදු අඩු කළේ කියලා. එතුමා කිව්වා ව්‍යාපාරිකයෝ සියලුදෙනා මෙය අඩුකරන්න කියලා කිව්වා කියලා. එතුමා ඇත්ත කිව්වේ. එය මම දන්නවා. ඒ අය මගෙනුත් ඇහුවා ඇයි ඔයා බදු අඩු කළේ නැත්තේ කියලා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බදු අඩු කළා කියලා. අද එහෙම කියපු අය හොයා ගන්නත් නැහැ. අද ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තනි වෙලා ඉන්නවා.අපි නිසි ලෙස තෝරාගෙන රටට අවශ්‍ය වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යා යුතුයි. සිහින ලෝකවල ඉන්න හොඳ නැහැ. අපි සත්‍ය දැනගෙන වැඩ කළ යුතුයි. අද අපි ගන්න පියවර අනුව තමයි අපේ ඉදිරි ගමන තීරණය වන්නේ. අපි රටේ ආර්ථිකය හදනවා වගේම අලුත් දේශපාලන ක්‍රමයක් සකස් කළ යුතුයි. වගකීම් භාරගෙන ඉදිරියට යා හැකි පිරිසක් වගේම ඇත්ත තත්ත්වය දැනගෙන බය නැතිව කතා කළ හැකි පිරිසක් එමඟින් නිර්මාණය විය යුතුයි. එසේ නොමැතිව මේ රටට අනාගතයක් නැහැ. අපි සෑමවිටම ඇත්ත කථා කළා. දේශපාලනයේ දී ඇත්ත කියන්න බය විය යුතු නැහැ. ආණ්ඩුවට පක්ෂද, විරුද්ධද කියන එක නොවෙයි, ඇත්ත ප්‍රකාශ කළ යුතුයි. මම සෑම පක්ෂයකින්ම පිරිස එක් කරගෙන මෙම ආණ්ඩුව ඉදිරියට ගෙන ගියා. පක්ෂවල විනයක් තිබුණේ නැති වුණාට ආණ්ඩුවේ විනයක් තිබුණා. බය නැතුව කණ්ඩායමක් අපත් සමඟ එක් වුණා. පොදුජන පෙරමුණේ තරුණ මන්ත්‍රීවරුන් තමන්ගේ දේශපාලන අනාගතය ගැන සිතන්නේ නැතිව අපත් සමඟ එකතු වුණා. අද අපි ආර්ථිකය සකස් කරගෙන තිබෙන මට්ටමට අපේ දේශපාලන ක්‍රමය තවම පැමිණ නැහැ. ඒ ගැන අවධානය යොමු කරමින් අප වැඩ කළ යුතුයි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩ ඉවත් කරන්න කියලා දැන් ලියුම් ග#ලා..කඩ හැදුවොත් දඩ ගහලා කූඩුවේ දානවා
04:09
Video thumbnail
රටම බලා සිටි ජනාධිපති එක්ක නීතිඥවරුන්ගේ සාකච්ඡාව අවසන්
03:46
Video thumbnail
කෘෂිකර්ම ඇමති ඔයා ඉල්ලා අස් වෙන්න - කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
05:39
Video thumbnail
සුගීශ්වරගේ රෝගී තත්ත්වය ගැන කිව්වා - ඒත් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළා
01:28
Video thumbnail
ජනාධිපතිතුමා මැදිහත් වෙලා ගොවියන්ට සාධාරණයක් කරන්න
03:48
Video thumbnail
බුදු සරණයි සර්, පරිස්සමෙන් ඉන්න - ඔයාව වට්ටන්න බෑ
01:23
Video thumbnail
සජිත් ළඟට ගිහින් ධීවරයින් දුක කියයි - මෝ# පක්ෂයක් ඇවිත් අවු:2යි..කිරින්දම විනාශ කළා
11:18
Video thumbnail
අපි බියවෙලා ඉන්නේ - සාක්කි හදනවා, චෝදනා මවනවා
11:01
Video thumbnail
විපක්ෂය කියන ඒවා අපි ලොකුවට ගණන් ගන්නේ නෑ
04:56
Video thumbnail
ප්‍රසංග කලාවටත් තිත ? අපි සූදානම් නෑ මේ කතෘ භාගය ගෙවන්න..ගායකයා ඒක ගෙවන්න
05:09