spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රටම කළඹමින් සාරි ඇඳන් රේස් පැද්ද පද්මලතා

වරාය චෛත්‍ය දෙසින් නැ‍ඟෙන අරුණු හිරු රැස් දහරින් කොළඹ වරාය නගර බිම නැහැවී ගොසිනි. අප එහි යන විට ද මිනිස් ශ්‍රමයෙන් නිමාවුණු දැකුම්කලු වෙරළ තීරය අභ්‍යන්තරයේ ඉකුත් 28 වැනිදා විවෘත වූ මෙරට මෙන්ම දකුණු ආසියාවේ ද පළමු වැලිපර ආශ්‍රිත Colombo Dunes ATV ධාවන පථයේ ත්‍රාසය මෙන්ම සුන්දරත්වය ද වැඩිකරගත් එම අත්දැකීම ලබන කිහිප දෙනෙකි. මෙතෙක් ශ්‍රී ලාංකිකයෙක් මෙවැනි අත්දැකීමක් ලැබුවේ නම් ඒ, ඩුබායි හි කාන්තාර ධාවන පථයක නැතිනම් කැලිෆෝනියාවේ වෙරළාශ්‍රිත ධාවන පථයක විය හැකිය. ක්‍රේට් ඇඩ්වෙන්චර් ආයතනය මඟින් වරාය නගර බිමේ කළ මෙම නිර්මාණාත්මක ඉදිකිරීම සහ ආයෝජනයත් සමඟ ශ්‍රී ලාංකිකයන්ට පමණක් නොව විදේශිකයන්ට ද මෙරටදී එම අත්දැකීම ලබන්නට අවස්ථාව සැලසී තිබේ.

නැ‍ඟෙමින් ඇති කොළඹ වරාය නගරය මෙවැන්නක් සඳහා කදිමට ගැළපෙන බව පැහැදිලි කාරණයකි. කොවිඩ් වසංගතය විසින් සංචාරක ව්‍යාපාරය ද බින්දුවට ඇද දැමූ පසු නැවතත් එය නැඟී සිටිමින් තිබියදී මේ ආ‍යෝජනය සිදුවීම ද අගය කළ යුතු කාරණයකි. ශ්‍රී ලංකාව රමණීය සංචාරක පාරාදීසයකි. වසංගතයේ මුල්වටයේ මෙහි රැඳී සිටීමට සිදුවූ විදේශිකයන් ලොවට කීවේ තවත් සුරක්ෂිතව සිටීම පිළිබඳව පණිවිඩයයි. දැන් යළිත් සංචාරක ව්‍යාපාරය හිස ඔසොවමින් තිබියදී, සෞඛ්‍යාරක්ෂිතව ගත කළ හැකි ලොව හොඳම සංචාරක ගමනාන්තයක් ලෙස ඔවුහු මෙරට තෝරාගෙන තිබේ. මෙහි පැමිණෙන සංචාරකයන් විශාල පිරිසක් රටවටා ඇති දැකුම්කලු වෙරළ තීරය ප්‍රිය කරති. ආරුගම්බේ වැනි වෙරළ තීරයක මුහුදු රළ සමඟ පොර බඳිමින් සර්ෆින් ක්‍රීඩාවේ යෙදෙන්නට ප්‍රිය කරන්නාක් මෙන් ඉදිරි කාලයේදී වරාය නගර බිමේ මෙම ATV අත්දැකීම ලබන්නට ඔවුන් එහි රැඳෙනු ඇත. එය පිහිටා ඇත්තේ ද කොළඹ නගරයේ සිට විනාඩි කිහිපයකින් ළඟාවිය හැකි දුරකින් වීමද විශේෂ කාරණයකි. Colombo Dunes වැලිපර ධාවන පථයේ සිට හාත්පස බලනවිට එම හෝටල් බොහොමයක් දැකගත හැකිය.

වරාය නගර භූමියේ අක්කර 5ක් වැනි භූමි වපසරියක් ආවරණය කරමින් ඉදිවී ඇති මෙම වැලිපර ATV ධාවන පථය A, B හා C යනුවෙන් ධාවන පථ 3කින් සමන්විතය. A ධාවන පථය පිළියෙල වී ඇත්තේ මෙම ත්‍රාසජනක අත්දැකීම ලබාගැනීම සඳහා ප්‍රවේශයක් ලබා ගැනීම පිණිසය. ATV රථයකින් පැදයාමට විශේෂ පුහුණුවක් අවශ්‍ය නොවන නමුත් මෙම පළමු ධාවන පථයේ එය පැදයාමෙන් අතහුරු කර ගැනීමට හැකියාව ලැබේ. B ධාවන පථයට පිවිසීමත් සමඟ PORT CITY යනුවෙන් සටහන් අකුරුවල හැඩයට ඉදිවූ එම ධාවන පථයේ අත්දැකීම විඳ ගැනීමට හැකිය. මේ ධාවන පථයේ එම හැඩය නැරැඹීමට හැකිවන්නේ උඩු ගුවනේ සිට ය. A හා B ධාවන පථවල හොඳින් ධාවනයේ යෙදෙන්නට හැකිවිණි නම් C ධාවන පථයට පිවිසීමට අවස්ථාව සැලසේ. චකිතයකින් තොරවීම මෙන්ම මනා කායික – මානසික ශක්තියකින් යුතු වීමද එම අත්දැකීම ලැබීමට උපකාරී වනු ඇත. මෙම ධාවන පථ 3ක විනාඩි 15ක් වැනි කාලසීමාවකදී ආවරණය කිරීමට හැකියාව තිබේ.

Colombo Dunes ATV ධාවන පථය විවෘත වූ දිනයේ අප සමඟ අදහස් දක්වමින් ක්‍රේට් ඇඩ්වෙන්චර් පුද්ගලික සමාගමේ සභාපති රනුල් තන්තිලගේ එම සංකල්පය ගැන පැවසුවේ, මෙවැන්නකි. “ක්‍රේට් ඇඩ්වෙන්චර් අපි, මෙයින් බලාපොරොත්තු වුණේ මේ අත්දැකීම ලබන අයට ත්‍රාසය, කායික මෙන්ම මානසික සුවතාව සැහැල්ලුව ආදී හැමදේම එකවර ලබාදීමයි. කුඩා ළමයාගේ පටන් ජ්‍යෙෂ්ඨ පුරවැසි වැඩිහිටියන් දක්වාම නොයෙක් ආකාරයෙන් මේ අත්දැකීම ලබන්නට පුළුවන්. ATV එකක් පදිනන් වයස්ගතවීම බාධකයක් නෙවෙයි. එසේ නොවන අයට ලංකාවේ පළමු කෘත්‍රිම වෙරළ තීරයේ සුන්දරත්වය ATV එකකට යා කළ රථයක (Shuttle) නැඟී ගමන් කරමින් ලැබීමට අවස්ථාව සලසා තිබෙනවා. පවුලක සාමාජිකයන් 4 – 5 දෙනකුට එකවර ඒ අවස්ථාව ලබා ගැනීමටත් හැකියි. අපි, අපේ ශ්‍රී ලාංකිකයන්ටත් විදෙස් සංචාරකයන්ටත් ආරාධනා කරනවා මේ අත්දැකීම් ලබන්න වරාය නගරයේ පිහිටි Colomob dune ATV ධාවන පථයට එන්න කියලා. මේ ගැන අවශ්‍ය විස්තර සියල්ල www.crateadventure.com වෙබ් අඩවියෙන් ලබාගැනීමට පුළුවන්කම තියෙනවා.”

කොළඹ වරාය නගරයේ මහජන සම්බන්ධතා ප්‍රධානී කස්සප සෙනෙරත් පැවසූ පරිදි, වරාය නගරයේ පළමු විනෝදාස්වාද අංශය ලෙස සැහැල්ලු යාත්‍රා අංගණය ඇරැඹි අතර අනතුරුව ගොල්ෆ් පිටිය විවෘත විය. Colombo dune වැලිපර වන ATV ධාවන පථය ඒ බිමේ නවමු අත්දැකීමය.

“පාලමේ සිට කි.මී. 2ක් දක්වා විහිදෙන පොදු වෙරළ තීරය ආශ්‍රිතවයි මේ කටයුතු සිදුවෙන්නෙ. ඉදිරියෙදි තවත් දේ එකතු වෙනවා. කොවිඩ් නිසා මේ කටයුතුවලටත් බලපෑම් ඇති වුණා. මේ ආයෝජකයන් මේ සඳහා යොමුවෙලා ඉන්නේ විශාල වගකීමක් අරගෙන. දැන් මේ වැලිපර මත ATV ධාවන පථය ගත්තොත් එය වරාය නගරයට පමණක් නොවෙයි ලංකාවටම විශේෂයි”

වරාය නගරයට ලාංකිකයන්ට පිවිසීමටවත් අවසර නොලැබෙනු ඇති බවට විවිධ ප්‍රචාර සිදුවිය. මෙවැනි ආයෝජන මඟින් ඒවා ‘බොරු’ කර ඇත. කස්සප සෙනරත් පවසන්නේ දෙස් – විදෙස් කාටත් මෙය විවෘත වන බවයි. තවමත් ඉදිකිරීම් සිදුවන බැවින් මහජනතාවට එහි ඇතුළු වීමට ඉඩ නොලැබුණ ද දැනට විවෘතව ඇති මෙම විනෝදාස්වාද ක්ෂේත්‍රවල අත්දැකීම ලබන්නට ජනතාවට ඉඩ සැලසී තිබේ. ධාවන පථයේ ATV රථයක් පැදයමින් පසුගිය දිනවල රටේම අවධානයට ලක්වූ ක්‍රේට් ඇඩ්වෙන්චර් සමාගමේ අධ්‍යක්ෂවරිය පද්මලතා අබේසිංහ අප සමඟ ප්‍රකාශ කළේ මෙවැනි නව අදහස් මෙරට සංචාරක කර්මාන්තයට ප්‍රායෝගිකව හඳුන්වා ‍දෙමින් මේ ක්ෂේත්‍රය නඟා සිටුවීමට යම් දායකත්වයක් සැලසීමට හැකිවීම ගැන සතුටු වන බවයි. “අපි හැමදාමත් අභියෝග බාරගත්ත අය. මේත් එවැනි අභියෝගයක්. මේ අලුත්ම අත්දැකීම විඳින්නට එන්න කියලා අපි දෙස් – විදෙස් සංචාරක සැමට ඇරයුම් කරනවා.”

2018 වසරේදී, දකුණු ආසියාවේ පළමු ATV ධාවන පථය ගම්පහ, මාළිගාතැන්නේ Colombo Mountain නමින් නිර්මාණය කළේ ද ක්‍රේට් ඇඩ්වෙන්චර් සමාගමය. අක්කර 40ක් දර්ශනීය කඳුකර පරිසරයක එය පිහිටා තිබේ. එයද දෙස් – විදෙස් සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානයකි. වැලිපර ධාවන පථය අද්දර කෘත්‍රිම වෙරළ තීරය දෙසින් දවසේ මෙහෙවර නිමාකර හිරු සැඟ ව යන්නට සැරසෙන අයුරු දර්ශනීය සිතුවමකි. අප ඉදිරියෙන් යාත්‍රා 2ක් ඈත් මෑත් වනු පෙනේ. තවත් හෝරාවක් දෙකක් ගතවනවිට මුහුදු තීරයේ ඇති නෞකාවල එළිදැල්වෙනු ඇත. ඊට පෙර අප සමුගත්තේ චමත්කාර මතක සටහනක් ඉතිරි කරමිනි.

ධම්මික සෙනෙවිරත්න

උපුටාගැනීම සිළුමිණ පුවත්පතෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?