රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දුව අත්අඩංගුවට

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අල්ලස් කොමිසමේ නිලධාරීන් දෙදෙනෙකුට මරණ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇයව මෙලෙස අත්අඩංගුව ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකාරිය අද (07) දිනයේ කෙසෙල්වත්ත පොලිස් ස්ථානය පැමිණ භාරවීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගත බවයි එම පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙක් පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු ඇය අද (07) අලුත්කඩේ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

පසුගිය 04 වනදා විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ නඩු කටයුත්ත අවසන් කර අධිකරණ භූමියෙන් පිටව යන අවස්ථාවේ දී අල්ලස් කොමිසමේ සහකාර කොමසාරිස් සුලෝචනා හෙට්ටිආරච්චිට සහ විමර්ශන නිලධාරී දිලුම් දුශාන්ට සැකකාර විසින් මරණ තර්ජන සිදුකර තිබුණා.

එම අවස්ථාවේ දී සහකාර කොමසාරිස්වරිය සහ විමර්ශන නිලධාරියා මේ සම්බන්ධයෙන් වහාම කොළඹ මහේස්ත්‍රාත්වරියට පැමිණිලි කිරීමට කටයුතු කළ අතර, එහිදී මහේස්ත්‍රාත්වරිය ඔවුන්ට උපදෙස් ලබා දුන්නේ ඒ සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිස් ස්ථානය වෙත ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙසයි.