යුද ගිනි දැල් නිවුණු සාමකාමී ලෝකයක් වෙනුවෙන් කැපවෙමු – වෙසක් දිනය දා ජනපතිගෙන් පණිවුඩයක්

බුදුරජාණන් වහන්සේගේ අර්ථ ධර්ම මාවත මනා කොට ආදර්ශයට ගනිමින් පරාර්ථකාමීත්වය තුළ සමානාත්මතාවයෙන් සහ සමාජ සාධාරණත්වයෙන් යුතු දියුණු රටක් ගොඩනගමින් “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” පිළිබඳ මෙරට ජනතාවගේ අපේක්ෂා ඵල දැරීම වෙනුවෙන් අප තව තවත් සද් අධිෂ්ඨානයෙන් සහ වීර්යයෙන් යුතුව එක්ව කටයුතු කිරීමට සියලුදෙනාට ඇරයුම් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

අදට යෙදී ඇති උතුම් වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් ජනධිපතිවරයා මේ බව සඳහන් කරනවා.

බුදුන් වහන්සේගේ දේශනාව තුළ ලෝක සාමය උදෙසා මහැගි පණිවිඩයක් ගෙන දෙන අතර එම ඉගැන්වීම් ප්‍රායෝගිකව වටහා ගනිමින් මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණ අනුව කටයුතු කරමින් යුද ගිනි දැල් නිවුණු සාමකාමී ලෝකයක් වෙනුවෙන් කැපවීමේ අවශ්‍යතාව අන් කවරදාටත් වඩා දැඩිව මතුව තිබෙන බව ද ජනාධිපතිවරයා නිකුත් කළ වෙසක් දින පණිවුඩයේ සඳහන්.

ජනාධිපතිවරයා නිකුත් කළ වෙසක් දින පණිවුඩය පහතින්..

තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය හා පරිනිර්වාණය යන ත්‍රිවිධ මංගල්‍යය සිදුවූ වෙසක් පුන් පොහෝ දිනය සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවටම ඉතා සුවිශේෂී දිනයකි. සියලු බුද්ධ කාරක ධර්මයන් සපුරා, මාර සේනාව පරාජය කොට, මධ්‍යම ප්‍රතිපදාවෙන් ඥානය දියුණු කර, චතුරාර්ය සත්‍යය අවබෝධ කොට, සියලු කෙලෙසුන් නසා සම්‍යක් සම්බුද්ධත්වයට පත්වූයේ මෙවන් අසිරිමත් වෙසක් දිනයකදීය. උන්වහන්සේ සියලු දුක් ඉවසා, සසරින් සසරට ජීවිත ගණනාවකදී පෙරුම් පුරා පරාර්ථචර්යාවෙන් අවබෝධ කරගත් ධර්මය සියලු ලෝකවාසීන්ගේ ආධ්‍යාත්මික හිත සුව පිණිසම හේතු සාධක විය.
බුදුන් වහන්සේගේ මුඛ්‍ය දේශනාව වූයේ ආගමික පසුබිමක හිඳ මිනිසාගේ ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කිරීමයි. එසේම පාලකයකු විසින් යහපත් පාලන තන්ත්‍රයක්‌ ගොඩනගා ගත යුතු ආකාරය පිළිබඳවද බෞද්ධ දර්ශනයේ සඳහන් වෙයි. “සබ්බං රට්ඨං සුඛං සේති – රාජා චේ හොති ධම්මිකෝ” යනුවෙන් බුදුන් වහන්සේ දේශනා කොට ඇත්තේ රටක පළමු පුරවැසියා වන පාලකයා දැහැමි වුවහොත් සියලු ජනයා සුව සේ ජීවත් වනු ඇති බවයි.
බුදුරජාණන් වහන්සේගේ අර්ථ ධර්ම මාවත මනා කොට ආදර්ශයට ගනිමින් පරාර්ථකාමීත්වය තුළ සමානාත්මතාවයෙන් සහ සමාජ සාධාරණත්වයෙන් යුතු දියුණු රටක් ගොඩනගමින් “පොහොසත් රටක් – ලස්සන ජිවිතයක්” පිළිබඳ මෙරට ජනතාවගේ අපේක්ෂා ඵල දැරීම වෙනුවෙන් අප තව තවත් සද් අධිෂ්ඨානයෙන් සහ වීර්යයෙන් යුතුව එක්ව පොරබදිමුයි මෙම පින්බර වෙසක් මංගල්‍යයේදී මම සියලුදෙනාට ඇරයුම් කරමි.
බුදුන් වහන්සේගේ දේශනාව තුළ ලෝක සාමය උදෙසා මහැගි පණිවිඩයක් ගෙන දෙන අතර එම ඉගැන්වීම් ප්‍රායෝගිකව වටහා ගනිමින් මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණ අනුව කටයුතු කරමින් යුද ගිනි දැල් නිවුණු සාමකාමී ලෝකයක් වෙනුවෙන් කැපවීමේ අවශ්‍යතාව අන් කවරදාටත් වඩා දැඩිව මතුව තිබෙන බවද මෙහිලා සිහිපත් කරනු කැමැත්තෙමි.
ධර්මාවබෝධයෙන් සියලු සිත් සතන් ආලෝකවත් වන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
අනුර කුමාර දිසානායක
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2025 මැයි 12 වන දින



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14