මෝදිගේ රජයට එරෙහි විශ්වාසභංගය පරාජයට පත්වෙයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ රජයට එරෙහිව විපක්ෂ සන්ධානය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට භාරතීය ජනතා පක්ෂය අද (10) සමත් වුණා.

කොංග්‍රස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෞරව් ගොගෝයි විසින් පසුගිය 26 වැනිදායි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට එරෙහිව විශ්වාසභංග යෝජනාව සභාගත කරනු ලැබුවේ.

එය පිළිගත් කතානායකවරයා විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය ලෙස පසුගිය 8 වැනිදා නම් කර තිබුණා.

ඒ අනුව විවාදය ආරම්භ කරනු ලැබුවේ කොංග්‍රස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෞරව් ගොගෝයි විසින්.

දින තුනක විවාදයකින් පසුව අද විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම පැවැත්වූ අතර එහිදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රමුඛ රජය විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කිරීමට සමත් වුණා.

ඡන්ද විමසීම සිදු කෙරුනේ වාචිකවයි.

අනතුරුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පාර්ලිමේන්තුව ඇමතු අතර ඔහුගේ කතාව සිදුවන අතරවාරයේ කොන්ග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි සහ රාහුල් ගාන්ධි ඇතුලු විපක්ෂ මන්ත්‍රීවරුන් සභා ගර්භයෙන් ඉවත්ව ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.