මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මගෝඩි වැඩ රැසක් කෝපා කමිටුවේදී එළියට

එන්ජින් ධාරිතාවය 201 සිට 450 කාණ්ඩයේ යතුරු පැදි 296ක් සඳහා අය කළ යුතු නියමිත ගාස්තු අය නොකර ලියාපදිංචි කර තිබීම හේතුවෙන් රජයට රුපියල් මිලියන 78.15ක අලාභයක් සිදුව තිබෙන අතර, කැබිනට් අනුමතියකින් තොරව හා ලියාපදිංචි කිරීමට අවශ්‍ය නීතිමය ලිපිලේඛන නොමැතිව යතුරුපැදි 3088ක් ලියාපදිංචි කර ඇති බවට කෝපා කමිටුවේදී අනාවරණය වුණා.

මේ පිළිබඳ සාකච්ඡා කරනු ලැබුවේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ 2020, 2021, 2022 හා 2023 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත්ගේ සභාපතිත්වයෙන් පසුගියදා (21) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා 2025.03.10 දින මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කාරක සභාව හමුවට කැඳවා තිබුන ද අදාළ නිලධාරීන් නිසි සූදානමකින් නොපැමිණීම හේතුවෙන් නැවත හරවා යවනු ලැබුවා.

එමෙන්ම රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019 වසරේ පැවති කෝපා කමිටු රැස්වීම්වල දී ලබාදුන් නියෝග ඉටුකිරීම සම්බන්ධයෙන් විමසා සිටියා.

මෙහිදී රේගු පරිගණක පද්ධතිය සමග සම්බන්ධවීමට ප්‍රථම, සිදුවූ අනීතික වාහන ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා ඉදිරිපත් කළ කරුණු 25ක් පිළිබඳ සිදුකළ පරීක්ෂණ හා එම කටයුතුවලට වගකිවයුතු නිලධාරීන්ට විරුද්ධව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ගත් විනය ක්‍රියාමාර්ග ඇතුළු වර්තමාන තත්ත්වය සඳහන් වාර්තාව දීර්ඝ වශයෙන් සකච්ඡාවට ගනු ලැබුවා.

මෙහිදී දෙපාර්තමේන්තුව විසින් අදාළ නිලධාරීන්ට එරෙහිව කිසිඳු විනය පියවරක් නොගැනීම සම්බන්ධයෙන් කාරක සභාව දැඩි අප්‍රසාදය පළ කළ අතර ඉදිරිපත් කර ඇති වාර්තා සම්බන්ධයෙන් ද කිසිසේත්ම සැහීමකට පත්විය නොහැකි බව අවධාරණය කළා.

ඒ, අනුව මේ සම්බන්ධයෙන් නොපමාව විනය ක්‍රියාමාර්ග ගත යුතු බවත්, ඊට අදාළ විමර්ශනය ස්වාධින නිලධාරීන් කණ්ඩායමක් මගින් පැවැත්වීමට පියවර ගන්නා ලෙසටත් සභාපතිවරයා නිර්දේශ කරනු ලැබුවා.

පුර්ව වාහන ලියාපදිංචි අංක යටතේ පද්ධති ගතවූ චැසි අංක හා එන්ජින් අංක වෙනස් කර වංචනිකව ආනයනය කරන ලද වාහනවල එන්ජින් අංක හා චැසි අංක ඇතුළත් කර, වංචනික මෝටර් වාහන ලියාපදිංචි සහතික නිකුත් කර තිබීම පිළිබඳව ද කෝපා කමිටුව අවධානය යොමු කරනු ලැබුවා.

එහිදී රුපියල් බිලියන 1.2ක මුදලක් රජයට පාඩු වී තිබෙන බවට අනාවරණය වුණා.

තවද, භාවිතයට නොගත් හිස් අංක සඳහා වංචනිකව මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතික මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබීම හේතුවෙන් රජයට මිලියන 6.2ක් ද, විදේශ රාජ්‍ය තාන්ත්‍රික වාහන අංක සඳහා වෙනත් වාහන ලියාපදිංචි කිරීම හේතුවෙන් රුපියල් මිලියන 122ක පාඩුවක් ද සිදුව ඇති බවත් මේ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් විය යුතු බවත් විගණකාධිපතිවරයා අවධාරණය කළා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදුව ඇති දූෂණ, වංචා සහ අක්‍රමිකතා විමසා බැලීමෙන් අනතරුව මීට සම්බන්ධ සියලු නිලධාරීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටත් එහි ප්‍රගතිය සම්බන්ධයෙන් මෙම දෙපාර්තමේන්තුව මාසිකව කාරක සභාව හමුවට කැඳවා විමසීම් සිදුකිරීමටත් කාරක සභාව විසින් නිර්දේශ කළා.

තවද, මෙහිදී සිදුව තිබෙන අපරාධමය ක්‍රියාවන් සම්බන්ධයෙන් අදාළ නිතිය බලාත්මක කරන ආයතන හරහා නිතීය ක්‍රියාත්මක කිරීමට ද කාරක සභාව විසින් නිර්දේශ ඉදිරිපත් කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14