කඩවත ප්‍රදේශයේ ඉදිකළ මෙරට දෙවන මෙට්‍රෝ බස් ඩිපෝව අද (07) දිනයේ සිට මෙහෙයුම් කටයුතු අරඹනු ලැබුවා.
ඒ, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන්.
මෙම දෙවන ඩිපෝ අංගනය ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත – ගණේමුල්ල ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝවට ආසන්නව ස්ථාපනය කර තිබෙනවා.
මෙට්‍රො බස් ව්‍යාපෘතියේ සේවා ධාරිතාව වැඩිකිරීම සඳහාත් පරිපාලන, මෙහෙයුම් හා නඩත්තු කටයුතු පවත්වාගෙන යාම සඳහාත් පළමු අදියර යටතේ නව ඩිපෝ 04 ක් ඉදිකිරීමට ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් පුද්ගලික සමාගම සැලසුම් කර තිබෙනවා.
ඒ යටතේ තලංගම, කඩවත, ඒකල සහ රත්මලාන යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මෙම පළමු ඩිපෝ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනවා.
මෙම මෙට්‍රො බස් රථ සේවාවේ ධාවන මාර්ග අංක 01 යටතේ මාකුඹුර සිට මහරගම හරහා කඩවත දක්වා ප්‍රවාහන සේවා ක්‍රියාත්මකයි.
මෙම මාර්ගයේ නව මෙට්‍රො බස් රථ 15ක් යොදා ජනතාවට අවශ්‍ය සුවපහසු ප්‍රවාහන පහසුකම් ලබාදීම විධිමත් කිරීමට ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් පුද්ගලික සමාගම, මෙම නව ඩිපෝ මධ්‍යස්ථාන පිහිටුවීමෙන් කටයුතු කරනු ලබනවා.
කඩවත ඉදිකළ දෙවන ඩිපෝ අංගනය විවෘත කිරීමේ අවස්ථාව අද (07) දිනයේ එක් වූ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ මෙම මෙට්‍රො සේවාව බස්නාහිර පළාතෙන් ඔබ්බට ව්‍යාප්ත කරමින් ගාල්ල, මහනුවර සහ යාපනය ප්‍රදේශවලට ද හඳුන්වාදීමට කටයුතු කරන බවයි.
එමෙන්ම මෙට්‍රො බස් සේවාව පුළුල් කිරීමේ අරමුණින් තවත් බස් රථ 50ක් මිලදී ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව ද ඔහු මෙහි දී සඳහන් කර සිටියා.
ඒ, අනුව ලබන අවුරුද්ද මුලවන විට මෙට්‍රො බස් සේවාව බස් රථ 172ක් දක්වා පුළුල් කිරීමට හැකිවනු ඇති බවයි බිමල් රත්නායක අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.













