spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මිලියන 6259ක ඖෂධ තත්ත්වයෙන් අසමත් – කෝපා කමිටු වාර්තා‍වෙන් ඖෂධ ගැන හෙළිදරව්වක්

නියමිත පරිදි ඖෂධ ගබඩා නොකිරීමේ හේතුවෙන් 2011 වසරේ සිට 2020 වසර දක්වා රුපියල් මිලියන 6259ක ඖෂධ තත්ත්වයෙන් අසමත් වී ඇති බව කෝපා කමිටු වාර්තා‍වෙන් අනාවරණය වී තිබෙනවා.

එම ඖෂධ තත්ත්වයෙන් අසමත් බව හඳුනා ගන්නා විටත් ඉන් 99%ක් රෝගීන් වෙත ලබාදී ඇති බවට ද කෝපා කමිටු වාර්තාවේ නිරීක්ෂණවල සඳහන්.

මෙම තත්ත්වයෙන් අසමත් ඖෂධ පිරිවැය සැපයුම්කරුවන්ගෙන් අය කර ගැනීමටද නොහැකි වී ඇති බවයි ඉන් වැඩිදුරටත් හෙළිව ඇත්තේ.

මේ හේතුවෙන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ඖෂධවල සුරක්ෂිතතාවය සුරැකෙන පරිදි ඖෂධ ගබඩා කිරීම සඳහා පහසුකම් ඇති කිරීමේ වැඩපිළිවෙල හැකි ඉක්මනින් අවසන් කරන මෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙත නියෝග කර තිබෙනවා.

වෛද්‍ය සැපයීම් අංශය සතු ගබඩාවල උෂ්ණත්වය නිසි ලෙස පවත්වා ගෙන නොමැති බවත්, වෛද්‍ය සැපයීම්, මධ්‍යම ඖෂධ ගබඩාවේ හා රෝහල්වල කොරිඩෝවල තැන්පත් කර ඇති බවත් කමිටුව විසින් නිරීක්ෂණය කර තිබෙනවා.

මේ අතර, ඖෂධය ලැබුණු වහාම තත්ත්වයෙන් අසමත් බව හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් පවතී නම් අලාභය සැපයුම්කරුවන්ගේ ඇපකරයෙන් අය කර ගැනීමට හැකි බවද, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් ඖෂධ 60ක තත්ත්ව පරීක්ෂාව සිදු කළ හැකි නම් මෙම තත්ත්වය තරමක් දුරට හෝ මඟ හරවා ගත හැකි බවද අමාත්‍යාංශ ලේකම්වරයා එහිදී පෙන්වා දී ඇති බව සඳහන්.

වෛද්‍ය සැපයුම් අංශය විසින් තත්ත්වයෙන් අසමත් ඖෂධ හෝ වෛද්‍ය සැපයුම් පිරිවැය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් අය කර ගැනීම වෙනුවට අදාළ සැපයුම්කරුවන්ගෙන් අය කර ගැනීමට කටයුතු කළ යුතු බවට කාරක සභාව අමාත්‍යාංශ ලේකම්වරයා වෙත නියෝග කර තිබෙනවා.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ විසින් පසුගියදා (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෝපා කමිටුවේ නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභා වාරයේ පළමු වාර්තාවේ මේ සම්බන්ධයෙන් වන කරුණු දක්වා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?