මිලියන 50කට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සොයාගැනේ

රුපියල් මිලියන 50කට ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 125ක් තලෙයිමන්නාරම – වැලිපර මුහුදු සීමාවේ පාවෙමින්
තිබියදී පසුගිය (30) දා සොයාගත් බවට නාවික හමුදාව පවසනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ උතුරුමැද නාවික විධානයේ නිලධාරීන් පිරිසක් විසින් තලෙයිමන්නාරම – වැලිපර මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී පාවෙමින් තිබූ පාර්සල් 46ක් ගොඩට ගෙන පරික්ෂා කිරීමේ දී අදාළ කේරළ ගංජා තොගය හමු වී ඇති බවයි.

අදාළ කේරළ ගංජා තොගය මුහුදු මාර්ගයෙන් ඉන්දියාවේ සිට තලෙයිමන්නාරමට රැගෙන එමින් සිටියදී නාවික හමුදාව දැක ජාවාරම්කරුවන් විසින් කේරළ ගංජා මුහුදට විසිකොට පලා යන්නට ඇතැයි නාවික හමුදාව සැක පළ කරනවා.

සොයා ගත් කේරළ ගංජා තොගය වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා තලෙයිමන්නාරම් පොලිස් ස්ථානය වෙත භාරදීමට පියවර ගත් බව ද නාවික හමුදාව ප්‍රකාශ කළා.