මිදිගම සූටිගේ හා ලන්සිගේ හෙංචයියෝ කොකේන් එක්ක අත්අඩංගුවට ගනියි

ඩුබායි රාජ්‍යයේ සැඟවි සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘මිදිගම සූටි’ සහ ‘මිදිගම ලන්සිගේ’ ප්‍රධාන ගෝලයෙකු වන ‘කසුන් මල්ලි’ සහ ඔහුගේ අනුගාමිකයන් දෙදෙනකු කොකේන් මත්ද්‍රව්‍ය සමඟ මිදිගම ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගෙන ඇති කසුන් නමැති ප්‍රධාන ගෝලයා සන්තකයේ තිබි කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20ක්, ජාවාරම් සඳහා යොදාගත් යතුරුපැදියක් හා ජාවාරමෙන් උපයා ගත් රුපියල් 75,000ක මුදලක් ද ජංගම දූරකථන දෙකක් ද සොයා ගැනුණා.

එහිදී ‘සුමියා’ නමැති සැකකරු සන්තකයේ තිබී කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05ක් ද, අනෙක් සැකකරු වන ‘අනිලා’ යන අය සන්තකයේ තිබී කොකේන් ග්‍රෑම් 05ක් ද සොයාගත් බවයි පැවසෙන්නේ.

මොවුන්ව ඊයේ රාත්‍රියේ දී මිදිගම – ගුරුබැබිල හි දී අත්අඩංගුවට ගැනුණා.

සැකකරුවන් වයස අවුරුදු 32,39 හා 52 වයස්වල පසුවන මිදිගම ප්‍රදේශයේ ම පදිංචිකරුවන්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.