මිද්දෙණියේ ත්‍රිත්ව ඝාතන සිද්ධියට කොස්තාපල් හසුවුණේ මාංචු කුට්ටම් දෙකකින්

මිද්දෙණිය ප්‍රදේශයේ දී පසුගිය 18 වනදා රාත්‍රියේ වෙඩි තබා ත්‍රිත්ව ඝාතනයක් සිදුකිරීමේ සිද්ධියේ විමර්ශන සිදුකරන නිලධාරීන් විසින් සැකපිට පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.

අද (21) උදෑසන වීරකැටිය, කැප්පෙටියාව ප්‍රදේශයේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ කොස්තාපල්වරයෙක්.

වෙඩි තැබීමේ සිද්ධිය සිදු වූ ස්ථානයේ තිබූ හමුවූ මාංචු කුට්ටම් දෙකක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ ඒවා වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයාට පොලිස් නිලධාරියෙකු විසින් ලබා දී තිබූ බවයි.

ඒ, අනුව වැඩිදුර විමර්ශනවලින් පසුවයි සැකකාර කොස්තාපල්වරයා මිද්දෙණිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාර පොලිස් කොස්තාපල්වරයා 35 හැවිරිදි වියේ පසුවන අයෙක්.