spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මැතිව්ස් පිටියෙන් ඉවත් කළ ශකීබ් ගැන තවත් ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයක්

වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ වැඩි අවධානයක් යොමුවී ඇති ක්‍රීඩකයා වන්නේ බංග්ලාදේශ කණ්ඩායමේ නායක ෂකිබ් අල් හසන්. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින සහ විස්සයි 20 තරග ඉසව් හි අංක එකේ තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස ෂකිබ් අල් හසන් ශ්‍රේණිගත කර සිටිනවා.

පසුගිය 6 වනදා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති ලෝක කුසලාන එක්දින තරගයේදී ඇන්ජලෝ මැතිව්ස්ගේ ‘Timed Out’ දැවී යාමේ සිද්ධිය සමග බංග්ලාදේශ කණ්ඩායමේ නායක ෂකිබ් අල් හසන්ට එරෙහිව ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය තුළ දැඩි විවේදනයක් එල්ල වෙමින් පවතිනවා.

කෙසේවෙතත් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායක ෂකිබ් අල් හසන් අතර මතභේදාත්මක තත්ත්වයක් මීට පෙර පැවති බව ද නොරහසක්.

ශකීබ් අල් හසන්ගේ ආන්දෝලනාත්මක මෙන්ම මතබේධාත්මක සිදුවීම් සම්බන්ධයෙන් බී බී සී සිංහල සේවය වාර්තාවක් සකස් කර තිබෙනවා.

බංග්ලාදේශ කණ්ඩායමේ නායක ෂකිබ් අල් හසන් විවිධ ආන්දෝලනාත්මක සිදුවීම් රැසකට සම්බන්ධ ක්‍රීඩකයෙකු ලෙස ප්‍රසිද්ධය.

ෂකිබ් සහ ශ්‍රී ලංකාව අතර ඇතිවූ මතභේදය

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තරගයක් අතරතුර, බංග්ලාදේශ කණ්ඩායමේ නායක ෂකිබ් අල් හසන් සිය කණ්ඩායම පිටියෙන් ඉවත් කර ගන්නා බවට තර්ජනය කරනු ලැබීය. ඒ 2018 වසරේදී ශ්‍රී ලංකාවේ පැවති ‘ නිදහස් කුසලාන’ තුන්කොන් විස්සයි 20 තරගාවලියේදීයි.

එහිදී බංග්ලාදේශ ඉනිමේ අවසන් පන්දු වාරයේදී යවන ලද පළමු පන්දු දෙක බවුන්සර් පන්දු විම හේතුවෙන් දෙවන පන්දුව නිපන්දුවක් ලෙස නම් නොකිරීම නිසා උරණ වූ බංග්ලාදේශ නායක ෂකිබ් අල් හසන් හතරේ සීමාව ආසන්නයේ පන්දු රකිමින් සිටි කුසල් මෙන්ඩිස් සමග උණුසුම් කතා බහක පැටලුනු අතර සිය පිතිකරුවන් දෙදෙනා පිටියෙන් ඉවත් කර ගන්නා බවට තර්ජනය කළේය.

කෙසේ වුවද එම තරගය බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කරනු ලැබූ අතර ඉන්දියාව සමග අවසන් මහ තරගයට ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලැබිය.

එම තරගයෙන් පසු බංග්ලාදේශ කණ්ඩායමේ ක්‍රීඩකයින් ක්‍රීඩාංගණය මැද නර්තනයක නිරතවෙමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට උසුළු විසුළු කිරීම සහ අදාළ උණුසුම් තරගයෙන් පසු කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ බංග්ලාදේශ ක්‍රීඩකයින් රැඳී සිටි ක්‍රීඩක ප්‍රේක්ෂකාගාරයේ විදුරු දොරටුව ද බිඳ දමා තිබුණි.

විනිසුරුවරයෙකුට බැන වැදීම හා කෝපයෙන් හැසිරීම

2015 වසරේ පැවති බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) තරගයක් අතරතුර ක්‍රීඩා පිටියේ විනිසුරුට එරෙහිව ෂකිබ් අල් හසන් කෝපයෙන් බැන වැදුනි. එම සිදුවීම හේතුවෙන් ෂකිබ් අල් හසන්ට එක් තරගයක තහනමක් සහ ඇමෙරිකානු ඩොලර් 250 ක දඩයක් පැනවීමට කටයුතු කරනු ලැබීය.

ප්‍රතිවාදී පිතිකරු මුෂ්ෆිකර් රහීම් දැවී ගිය ක්‍රීඩකයෙකු බවට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ෂකිබ් එලෙස පිටියේ විනිසුරු ලෙස කටයුතු කළ තන්වීර් අහමඩ්ට අපහාස වන ලෙස බැන වැදී තිබුණි

මේ අතර ෂකිබ් අල් හසන් 2021 වසරේ දී තවත් මෙවැනි සිදුවීමකට සම්බන්ධ විය. ඩකා ප්‍රිමියර් ඩිවිෂන් විස්සයි20 ක්‍රිකට් ලීග් තරගයක් අතරතුර ෂකීබ් විනිසුරුවරයෙකුගේ තීරණයට එරෙහිව කෝපයෙන් කඩුල්ලට පයින් ගසා කඩුල්ලක් ගලවා විසි කර දැමීය.

පසුව ෂකිබ් අල් හසන් තම “වරද” සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටියේය.

දූෂණ විරෝධී තරග තහනම

ඉන්දීය ප්‍රිමියර් ලීගය ඇතුළු තරගාවලිවලදී තරග පාවා දීමේ සිදුවීම් සම්බන්ධයෙන් වූ සිදුවීම් වාර්තා කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ෂකීබ් අල් හසන්ට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2019 වසරේ දී වසර දෙකක තරග තහනමක් පනවන ලදී.

ICC දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝණය කිරීමේ චෝදනා තුනක් ෂකීබ් අල් හසන් පිළිගැනීමෙන් පසුව මෙම තහනම පැනවිණි.

2018 ජනවාරි මාසයේදී බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ තුන්කොන් තරගාවලියට මෙන්ම 2018 IPL තරගාවලියට අදාළව සිදු කරන ලද තරග පාවා දීමේ ප්‍රවේශයන් හෝ ආරාධනා පිළිබඳ සම්පූර්ණ තොරතුරු ICC හි දූෂණ විරෝධී ඒකකය වෙත හෙළි කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල විය.

එලෙස පනවන ලද තහනම පසු දිනයක් ලෙස පැනවීමට කටයුතු කිරීම හේතුවෙන් 2020 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේදී නැවත බංග්ලාදේශ කණ්ඩායමට ඇතුළුවීමට ෂකිබ් අල් හසන්ට හැකිවිය.

අශෝබන ලෙස හැසිරීම

2014 වසරේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති එක්දින තරගාවලියක දෙවැනි තරගයේදී ෂකිබ් අල් හසන් දැවී යාමෙන් අනතුරුව ඔහු ක්‍රීඩාගාරයේ සිටියදී සිදුකළ ක්‍රියාවක් හේතුවෙන් බංගලිදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ඔහුට එරෙහිව තරග තුනක තහනමක් සහ ඇමෙරිකානු ඩොලර් 3,800ක දඩයක් නියම කරනු ලැබිය.

සිය දැවී යාමෙන් පසු ක්‍රීඩාගාරයේ රැඳී සිටි ෂකිබ් දෙසට සජීවී තරග විකාශය අතර වාරයේදී කැමරාව එල්ල වූ අවස්ථාවේ ඔහු නොමනා ලෙස සිය සිරුරේ අවයවයක් දෙසට ඇඟිල්ල යොමු කොට පෙන්වීමේ සිදුවීමක් නිසා ඔහු සම්බන්ධයෙන් එරට ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් විමර්ශනයක් සිදුකරනු ලැබීය.

විමර්ශනයේදී ෂකිබ් අල් හසන් විසින් වරද පිළිගැනීම නිසා ඔහුට තරග තුනක තහනමක් සහ දඩයක් පැනවිය.

කෙටි පණිවිඩයක් නිසා මුහුණ දුන් අකරතැබ්බය

2014 වසරේදී පැවති බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණු කඳවුරක් මඟහැර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කළ බවට ෂකීබ් අල් හසන් සිය කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ චන්දික හතුරුසිංහ වෙත කෙටි පණිවිඩයක් යැවීමෙන් ඔහුට තරග තහනමක් පැනවිය.

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ෂකීබ් අල් හසන් ඩකා අගනුවර වෙත කැඳවූ නමුත් එහිදී ඔහු කැරිබියන් ප්‍රිමියර් ලීගය සඳහා සහභාගී වීමට බටහිර ඉන්දීය කොදෙව් දුපත් වෙත යාම සඳහා ලන්ඩනයේ ගුවන් තොටුපොළක රැඳී සිටීයේය.

එය “බරපතල විෂමාචාර” සිද්ධියක් ලෙස සලකා ෂකිබ් අල් හසන්ට එරෙහිව මාස හයක තරග තහනමක් පැනවූ නමුත් පසුව එම තහනම මාස තුනහමාරකට අඩු කරන ලදී.

“ඔහුට දරුණු ආකල්පමය ගැටලුවක් තිබේ, එය බංග්ලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ පෙර නොවූ විරූ දෙයක්,” යැයි එවකට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ නස්මුල් හසන් පැවසීය.

වකාර් යුනිස්ට එරෙහිව චෝදනාවක් ?

මේ අතර ඇන්ජලෝ මැතිව්ස් ගේ ‘Timed out’ දැවී යාම නිසා පකිස්ථාන හිටපු ක්‍රීඩකයෙකු වන වකාර් යුනිස්ට ද නීති ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ කතාබහක් මතුව තිබෙනවා.

ඇන්ජලෝ මැතිව්ස්ගේ දැවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර තරග විස්තර විචාරයේ යෙදුණු වකාර් යුනිස් විසින් ෂකිබ් අල් හසන් ගේ ක්‍රියාකලාපය විවේචනයට ලක් කළේ එය ක්‍රීඩාවේ ජීව ගුණයට හානිගෙන දෙන බව පවසමින්.

එලෙස විවේචන එල්ල කළ වකාර් යුනිස්ව මෙවර ලෝක කුසලානයේ ජාත්‍යන්තර තරග විස්තර විචාරයෙන් ඉවත් කරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලීමක් සිදු කරන ලෙස බංග්ලාදේශ අධිකරණයක් විසින් එරට ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත දන්වා තිබෙනවා.

ඒ බංග්ලාදේශයේ නීතීඥ වලියුර් රහ්මාන් ඛාන් විසින් ඉදිරිපත් කරන ලද රීට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට දින 10ක කාලයක් ද ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
9
+1
3
+1
1
+1
1
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?