මාරාන්තික බැක්ටීරියා අඩංගු බාල ඖෂධ ගෙනා කෙහෙළිය ඇතුළු පිරිසට එරෙහිව අධිචෝදනා ගොනු වෙයි

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ස්නායු රෝගීන් සඳහා භාවිත කරන හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සහ පිළිකා රෝගීන් සඳහා භාවිත කරන රිටොක්සිමැබ් නමැති ප්‍රතිදේහ එන්නත් ව්‍යාජ ලේඛන හරහා ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මගින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්ත්වයකට පත් කිරීම යන චෝදනා යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ, එවකට කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව මත පදනම්ව රුපියල් කෝටි 14.5කට ආසන්න මුදලක් වැයකර ජනතාවට ඖෂධ වශයෙන් ලබා දී ඇත්තේ “මරාන්තික බැක්ටීරියා සහිත වතුරත්, නිකන් ම නිකන් ලුණු වතුරත්” යැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඉකුත් 19 වැනි දා මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන් බවයි.

අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කමන්ත තුෂාර මහතා විසින් මේ පිළිබඳව එවකට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් හෝ දුෂන කොමිෂන් සභාවට පැමිණිලි කළා.

ඔහු කළ පැමිණිල්ලට අනුව 2023 ඔක්තෝබර් 13 වැනි දා සිට මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඒ සම්බන්ධයෙන් නඩු පවරනු ලැබුවා.

2023 ඔක්තෝබර් 13 වන දා සිට මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කළා.

ඒ අනුව, අවුරුද්දයි මාස 08ක් සහ දින 06ක් තුළ විමර්ශන අවසන් කර සිද්ධියට අදාළ විමර්ශනවල උද්ධෘත පසුගිය පෙබරවාරි 06 වන දා, නීතිපතිවරයාට යොමු කර තිබුණා.

අදාළ අධිචෝදනා පත්‍රය චෝදනා 13කින් සමන්විතයි.

2022 වසරේ රට තුළ පැවති ආර්ථික අර්බුදයට මුවාවී, ව්‍යාජ ඖෂධ හිඟයක් මවාපාමින්, පැවති ප්‍රසම්පාදන ක්‍රියාවලින් වෙනස් කිරීමට ලක්කර සෞඛ්‍ය අංශ විසින් ඖෂධ මිල දී ගැනීමක් සිදුකර තිබුණා.

මෙලෙස මිල දී ගත් ඖෂධ වර්ග අතර තිබූ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් නමැති ප්‍රතිදේහ භාවිත කළ මහනුවර, මාතලේ සහ කොළඹ යන ප්‍රදේශවල රෝගීන් තිදෙනෙකුට සංකූලතා මතුවූයේ ඖෂධයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් මතුකරමින්.

පසුව එකී විමර්ශනයට අදාළව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු කටයුත්තක් ආරම්භ කෙරුණේ පුද්ගලයින් 12 දෙනකු සැකකරුවන් ලෙස නම්කරමින්.

ඒ බාල ඖෂධ ගෙන්වූ බව කියන අයිසොලෙස් බයෝටෙක් ෆාමා සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂ ශාන්තිනී සොලමන්, ගණකාධිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය (විදේශගත වී ඇත), සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක , සහ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂවරයෙකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන, ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති විජිත් ගුණසේකර නමැති අය නම් කර තිබෙනවා.

නඩුවේ සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගතකර සිට පසුව ඇප මත මුදාහැරුණද, පළමු සැකකරු වන ප්‍රමිතියෙන් තොර එන්නත් සැපයූ සැපයුම්කරු මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.

දහ වන සැකකරු වන වෛද්‍ය ජයනාත් බුත්පිටිය විදේශ ගතව සිටින අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

එවන් පසුබිමක පසුගිය 19 වැනිදා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට අවසන්වරට විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය කියාසිටියේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිදුවීම සම්බන්ධයෙන් වසරකුත් මාස 08යි දින 06ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශන මේවනවිට අවසන් කෙරුණු බවයි.

ඒ අනුව මෙම නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවරිය විසින් පත්කර ඇති ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රමුඛ විත්තිකරුවන්ට එරෙහිව අද (26) අධිචෝදනා ගොනු කෙරුණා.

මෙලෙස අධිචෝදනා ගොනුකිරීම සිදුකෙරුණේ මහාධිකරණ විනිසුරුවන් වන මහේන් වීරමන්, අමාලි රණවීර සහ ප්‍රදීප් අබේරත්න යන ත්‍රිපුද්ගල විනිසුරුවරු මඩුල්ල හමුවේදීයි.

ඒ හියුමන් හියුමන් ඉමියුනොග්ලොබින් සහ රිටොක්සිමැබ් නමැති ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444ක් වංක ලෙස ව්‍යපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන්.

අධිචෝදනා පත්‍රයට අනුව නඩු විභාගය සඳහා සාක්ෂිකරුවන් 350කට ආසන්න සංඛ්‍යාවක් සහ නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩී.වී චානක නාමල්ගේ වේදිකාව දෙවනත් කරයි
08:14
Video thumbnail
ගමින් ගමට යන ජනාධිපතිට නාමල් සැරටම කිව්ව දේ..
09:54
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55