මාදු ගං මෝයේ සැඟවී ගිය සිසුවාගේ සිරුර සොයාගැනේ

ඊයේ (14) පස්වරුවේ අහුංගල්ල, මෝදරවත්ත මාදු ගං මෝයේ දිය නෑමට ගොස් අතුරුදන් වූ පාසල් සිසුවාගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා.

සිසුවාගේ මළ සිරුර අද (15) උදෑසන ගඟේ පාවෙමින් තිබිය දී සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

දියේ ගිලීමෙන් සිසුවා අතුරුදන් වූ පසු අහුංගල්ල පොලිසිය සහ නාවික හමුදා කිමිඳුම්කරුවන් එක්ව ඊයේ (14) පස්වරුවේම මෙහෙයුම් ආරම්භ කළත් සිසුවාගේ සිරුර සොයාගැනීමට හැකි වූයේ නැහැ.

මෙම සිසුවා බලපිටිය ප්‍රදේශයේ පිහිටි සිය පියාගේ නිවසට පවුලේ සමාජිකයින් සමඟ පැමිණ සිටිය දී, තවත් තරුණයින් දෙදෙනෙකු සමඟ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට යන බව පවසා මාදු ගං මෝයේ දිය නෑමට ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එහි දී ඔහු දියනාමින් සිටින අතර තුර දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 13ක සිසුවෙක්.