බාල චීන පොහොර ගෙන්වීමේ සිද්ධියට මහින්දානන්ද හිරේට (වීඩියෝ)

ඉකුත් රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නෞකාවක් ආනයනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකරුවන් පැවසුවේ, ප්‍රකාශයක් ලබාදීම සඳහා දිගින් දිගටම මෙම සැකකරු අල්ලස් කොමිසම හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා ඉකුත් සිකුරාදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය විසින් වරෙන්තු නිකුත් කළ බවයි.

ඉන් අනතුරුව සැකකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෝසමක් ඉදිරිපත් කරමින් සිය නීතිඥවරයා මගින් අද (19) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියා.

සැකකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයකට අනුව පොහොර ඇතුළු කෘෂිකාර්මික ද්‍රව්‍යවල අදාල කටයුතු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය වෙත පැවරී තිබූ බව සඳහන් කළා.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය විසින් රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතයට ගත යුතු බවට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගනු ලැබූ බවත් ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වාදුන්නා.

ඒ අනුව සිය සේවාදායකයා විසින් කාබනික පොහොර මිල දී ගැනීමට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කළ අතර ඒ අනුව පොහොර ගෙන්වීමේ ප්‍රසම්පාදන කටයුතු සිදුකිරීම සඳහා ආමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කළ බව ද පැවසුවා.

එම අමාත්‍ය මණ්ඩල අනුකමිටුව විසින් මෙම චීන සමාගමෙන් කාබනික පොහොර මිල දී ගැනීමට අනුමැතිය ලබා දුන් අතර ඊට තම සේවාදායකයා කිසිදු ආකාරයකින් සම්බන්ධ නොවූ බවත් ඔහු කියා සිටියා.

එසේ තිබියදී කාබනික පොහොර රැගත් චීන නෞකාව මෙරටට පැමිණි අතර එහි තිබූ පොහොර සාම්පල පරීක්ෂාවට ලක් කෙරුණු බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඓඑම පොහොරවල ක්ෂුද්‍ර ජීවීන් අන්තර්ගත බවට ශාක නිරෝධායන ආයතනය විසින් දැනුම් දුන් බවත් සඳහන් කළා.

ඒ අනුව රජයේ පොහොර සමාගම් විසින් කොළඹ වාණිජ මහාධිකරණයට නඩු ඉදිරිපත් කර චීන සමාගමෙන් පොහොර ආනයනය කිරීම සඳහා මහජන බැංකුව හරහා විවෘත කරන ලද ණයවර ලිපි අත්හිටුවීමට කටයුතු කළ බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

මේ හරහා චීනය හා ශ්‍රී ලංකාව අතර රාජතාන්ත්‍රික අර්බුදයක් මතු වූ අතර මහජන බැංකුව චීනය තුළ අසාධු ගත කරන බවට චීන රජයේ විසින් අනතුරු අඟවා සිටි බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වාදුන්නා.

ඉන් පසුව අධිකරණ අමාත්‍යවරයාද මේ ගැටළුවට මැදිහත් වූ අතර පසුව අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව නීතිපතිවරයාගේ උපදෙස් මත මෙම චීන පොහොර නැව සඳහා ගෙවීම් සිදුකළ බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා එම කටයුතුවලට තම සේවාදායකයා කිසිදු ආකාරයකින් සම්බන්ධ කර නොගත් බවත් ජනාධිපති නීතිඥවරය කියා සිටියා.

එමෙන්ම සිය සේවාදායකයා ප්‍රකාශ ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණෙන බව දැනුම් දී තිබියදී අල්ලස් කොමිසම වරෙන්තුවක් ලබාගෙන ඇති බවත් එම වරෙන්තු ලබාගෙන තිබෙන්නේ නිසියාකාරව සාක්ෂි මෙහෙයවීමකින් තොරව බවත් ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස කියා සිටියා.

ඒ අනුව තම සේවාදායකයාට එරෙහිව නිකුත් කර තිබෙන වරෙන්තුව ආපසු කැඳවීමේ නියෝගයක් නිකුත්කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටි බවයි වාර්තාකරුවන් පැවසුවේ.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්‍ෂිකා අනූෂා සම්බන්ධප්පෙරුම මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් නව දූෂණ විරෝධී පනත යටතේ වරෙන්තුවකින් තොරව සැකකරු අත්අඩංගුවට ගැනීමට තම කොමිසමට බලය පැවරී තිබෙන බව පැවසුවා.

ඒත් අධිකරණයට ගරු කිරීමක් වශයෙන් නිසි කරුණු ඉදිරිපත් කර මෙම වරෙන්තුව ක් ලබා ගැනීමට කටයුතු කළ බවත් ඇය පෙන්වා දුන්නා.

වැඩිදුරටත් කරුණු දැක්වූ එම නිලධාරිනිය අදාළ පොහොර තොගය තුළ පරිසරයට නුසුදුසු ක්ෂුද්‍ර ජීවීන් අන්තර්ගත බවට ශාක නිරෝධායන ආයතනය විසින් වාර්තා කිරීමෙන් පසුව ඊට අදාළව නිකුත් කළ බැංකු ණයවර ලිපි අත්හිටුවීමට ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගමේ සභාපතිවරු කටයුතු කළ බව පැවසුවා.

පසුව සැකකරු තම අමාත්‍යාංශයේ රැස්වීමක් කැඳවා අදාල ණයවර ලිපි විවෘත කරන ලෙස සමාගම්වල සභාපතිවරුන්ට බලපෑම් කර තර්ජනය කර තිබූ බවත් ඇය පෙන්වා දුන්නා.

ඒ බව තහවුරු කරමින් අදාළ සභාපතිවරු න් අල්ලස් කොමිසමට දිවුරුම් ප්‍රකාශ ලබා දී ඇති බවත් ඇය සඳහන් කළා.

එම පොහොර සඳහා අනුමැතිය දුනහොත් සිදුවිය හැකි හානිය ගැන එම රැස්වීමේදී නිලධාරීන් කරුණු පෙන්වා දුන්නද ඒවා ගණනකට නොගත් මෙම සැකකරු “සමාගම්වලට පාඩුවක් වෙන්නේ නෑ. ඒක භාණ්ඩාගාරය භාර ගනියි” යනුවෙන් සඳහන් කර තිබූ බවත් ඇය කියා සිටියා.

මේ සැකකරුගේ අත්තනෝමතික හා හිතුවක්කාරී තීරණ නිසා රටට ඇමරිකානු ඩොලර් මිලියන 6.9 ක් අහිමි වූ බවත් ඇය සඳහන් කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය කරු ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14