spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

“මනුස්සය පිට කොහෙ හරි තැනකදී මරලා වාහනේක දාගෙන මෙහෙට අරගෙන එන්න ඇති”

ගෝලයාගේ පෙම්වතියට බැල්ම හෙලූ කෝටිපතියා ගෝලයා අතින්ම අවසන් ගමන් යයි

මාතලේ රත්වත්ත දොඹගොඩ ප‍්‍රදේශය පුරා පැතිර තිබුණේ දැඩි නිහැඬියාවකි. රත්වත්ත ප‍්‍රදේශය වසාගත් කඳු වළල්ල සිපගෙන හමා එන සිසිල් සුළඟත් මිහිඳුම්පටවලින් වැසී ගිය රූස්ස වෘක්‍ෂයක් මතු කළේ මහා ගුප්ත බවකි. ඒ වන විට අපේ‍්‍රලේ 20 වැනිදා හිරු අවරට යමින් තිබුණේය. දොඹගොඩ වනගත ප‍්‍රදේශයේ බැඳසිටි ගවයන් රැගෙන ඒමට තංගම්මා දිවයමින් සිටියාය. මිහිඳුම් පටල සමඟ වා තලයට මුසුවන දුම්රොටු සහිත ස්ථානය දැකීමෙන් තංගම්මා සිය ගමනේ වේගය මදකට බාල කළාය. වනගත ප‍්‍රදේශය අසල අඩක් දැවී පිළිස්සී ගිය මිනිස් පාද යුගලක කොටසක් දැකීමෙන් තංගම්මා දැඩි ලෙස භීතියට පත් වූවාය. ගවයන් රැගෙන යෑම පසෙක තැබූ ඇය වතු නිවාස දෙසට හැල්මේ දිව ගියාය. රත්තොට දොඹගොඩ වනගත ප‍්‍රදේශයක නාඳුනන මිනිස් සිරුරක් පිලිස්සෙන බවට තොරතුරු පොලිසිය වෙත ලැබෙන්නේ ඉන් අනතුරුවය. තොරතුරු ලද සැනින් ක‍්‍රියාත්මක වූ රත්තොට පොලිසියේ නිලධාරීන් දොඹගොඩ ප‍්‍රදේශය වෙත ගොස් සිය විමර්ශන කටයුතු ආරම්භ කළහ. ඝාතනයට ලක් වූ පුද්ගලයා කාගේ කව්ද?, ඔහු කුමන ප‍්‍රදේශයක පදිංචිකරුවකු ද? ඝාතකයන් කවුද? මේ පුද්ගලයා මරා පුළුස්සා දැමුවේ ඇයිද යන්න හෙළිකර ගැනීමට කිසිදු සාක්‍ෂියක් ඒ වන විට ඉදිරිපත්ව තිබුණේ නැත. දැවී පිළිස්සී ගිය සිරුරේ සුන්බුන් අතර මහා අපරාධයක සුලමුල සැඟවී ඇති බව තේරුම් ගන්නට මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාට අපහසු වුණේ නැත. අපරාධ විමර්ශනය කෙරෙහි පෘථුල දැනුමක් මෙන්ම අත්දැකීම් සම්භාර ඇති ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතා මේ අභිරහස් ඝාතනයේ සුලමුල සෙවීමේ අභියෝගය භාර ගත්තේය.

මාතලේ මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ රාජකාරි කරන පොලිස් පරීක්‍ෂක තිලකවර්ධන, උප පොලිස් පරීක්‍ෂක ඒකනායක ඇතුළු නිලධාරීන් පිරිසක් සිය කාර්යාලය වෙත කැඳෙව්වේය.

‘මට පේන විදිහට මේක බොහොම සිරියස් කේස් එකක්. අපි කොහොම හි මේකෙ සුලමුල හොයාගන්න ඕනෙ.

පසුගිය දවස් කීපයේ රටේ අතුරුදන් වෙච්ච අය ගැන වාර්තාවක් ගන්න. ඒ වගේම සැකකටයුතු පැහැර ගැනීම් ගැන තොරතුරු හොයන්න අනිවාර්්‍යයෙන් ම මනුස්සය පිට කොහෙ හරි තැනකදී මරලා වාහනේක දාගෙන මෙහෙට අරගෙන එන්න ඇති. ඒ වගේ සැක කටයුතු වාහන ගැන තොරතුරු ලබා ගන්න.

අනුරුද්ධ බණ්ඩාරනායක මහතා සිය නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.

පොලිස් පරීක්‍ෂක තිලකවර්ධන මහතා ද පසුගිය කාලය පුරා රටේ සිදුවූ අභිරහස් අපරාධ රැසක් අනාවරණය කරගත් දක්‍ෂ නිලධාරියෙකි. දොඹගොඩ අභිරහස් මිනීමැරුම පිළිබඳව විමර්ශනයට අත ගැසූ තිලකවර්ධන මහතා ඇතුළු නිලධාරීන් රටපුරා සිදු වූ පුද්ගල අතුරුදන්වීම් පිළිබඳ තොරතුරු පොලිස් ස්ථාන මට්ටමින් ලබාගන්නට කටයුතු කළහ. දින ගණනක් තිස්සේ විමර්ශන කළ ද කිසිදු හෝඩුවාවක් ලැබුණේ නැත.

සැක කටයුතු අතුරුදන්වීමක් ගැන තොරතුරු අනාවරණය නොවීය. මේ අතර තුර අනුරාධපුර පොලිසියෙන් වැදගත් තොරතුරක් ලබා ගන්නට තිලකවර්ධන මහතාට අවස්ථාව ලැබුණේය.

‘‘සර්….. අනුරාධපුර ටවුන් එක කිට්ටුව නිල්පාට ෆිට් කාර් එකක් තිබිලා පොලිසිය භාරයට අරගෙන. මේ වාහනේ ගැන හෙව්වොත් මොනව හරි හෝඩුවාවක් ගන්න පුළුවන් වෙයි.’’ තිලකවර්ධන මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතා දැනුවත් කළේය.

‘‘සමහර විට මේ වාහනේ දොඹගොඩ මිනීමැරුමත් එක්ක සම්බන්ධයක් තියෙන්න පුළුවන්. කෝකටත් අනුරාධපුරේ ගිහින් මේ වාහනේ ගැන හොයලා බලන්න. අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පිට මාතලේ පොලිසියේ අපරාධ අංශයේ පොලිස් පරීක්‍ෂක තිලකවර්ධන ඇතුළු නිලධාරීන් පිරිසක් අනුරාධපුර පොලිසිය වෙත ගොස් අතහැර දමා ගොස් තිබූ මෝටර් රථය පරීක්‍ෂා කළහ.

මෝටර් රථයේ තිබූ රක්‍ෂණ සහතික, ආදායම් බලපත‍්‍ර ඇතුළු ලිපි ගොනුවක් පරීක්‍ෂා කළ තිලකවර්ධන මහතා ඒ ඔස්සේ කිසියම් හෝඩුවාවක් ලබා ගන්නට උත්සාහ කළේය. මෝටර් රථය ලියාපදිංචි අයිතිය සොයා ගන්නට පොලිසිය කටයුතු කළහ.

‘‘මේක රෙජිස්ට‍්‍රර් කරලා තියෙන්නේ වැල්ලවායෙ ගෑනුකෙනෙකුගේ නමට. වැල්ලවායට ගියොත් මොකක් හරි හෝඩුවාවක් හොයා ගන්න පුළුවන් වෙයි.’’

පොලිස් නිලධාරීන් පිරිස මෝටර් රථයේ ලියාපදිංචි අයිතිය හිමි කාන්තාව සොයා වැල්ලවායට ගියේ ඒ හරහා කිසියම් තොරතුරක් ලබා ගැනීමේ අටියෙන් ය.

‘‘මහත්තයො මේක මගේ වාහනේ උනාට මේක පාවිච්චි කළේ මගේ මල්ලී චන්දන. එයා කොළඹ පදිංචිවෙලා ඉන්නේ. කන්ස්ට‍්‍රක්ෂන් කම්පැණියක් එයාට තියෙනවා. මාසෙකට දෙකකට වතාවක් තමයි එයා ගමට එන්නේ. පහුගිය 17 වැනිදා තමයි මල්ලි අන්තිම වතාවට අපේ අම්මට ෆෝන් කළේ. එදයින් පස්සේ මල්ලි කතා කළේ නැහැ. එයාගෙ ෆෝන් එක වැඩකරන්නෙත් නැහැ. මල්ලි නිතර කතා නොකරන නිසා අපි එයා ගැන හොයලා බලූවේ නැහැ.’’

වැල්ලවායේ කාන්තාව ලබා දුන් තොරතුරු ඉතාම වැදගත් විය. දොඹගොඩ දී පිළිස්සි ගිය නාඳුනන මළසිරුර හා මේ කතාවේ කිසියම් සම්බන්ධයක් තිබෙනුඇතැයි තිලකවර්ධන මහතාට ඉවෙන් මෙන් තේරුම් ගොස් තිබුණේය. පොලිස් නිලධාරීන් චන්දන තිලක් රාජපක්‍ෂගේ ජංගම දුරකථන අංක සියල්ල ලබාගෙන ඒ ඔස්සේ විමර්ශනයක් ආරම්භ කළහ. චන්දනගේ දුරකථනයට අවසන් වරට ඇමතුම් ලැබී තිබුණේ අපේ‍්‍රල් මස 17 වැනිදා ය. එතැන් සිට ඔහුගේ ජංගම දුරකථන කිසිවක් ක‍්‍රියාත්මක වී තිබුණේ නැත. එසේ නම් චන්දනට කිසියම් අනතුරක් සිදුවුණේ ද? දොඹගොඩ දී පිළිස්සී ගොස් තිබුණේ චන්දනගේ සිරුරද? පොලිස් නිලධාරීන් උභතෝකෝටික ප‍්‍රශ්න රැසකට මැදි වුණේය. විමර්ශනයේ අලූත්ම වාර්තා සියල්ල මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතා වෙත ලබා දී අවශ්‍ය උපදෙස් ලබා ගන්නට පොලිස් පරීක්‍ෂක තිලකවර්ධන ඇතුළු නිලධාරීන් හැම විටම ක‍්‍රියා කළෝය.

‘‘චන්දනගේ ෆෝන්වලට වැඩිපුරම කොල්ස් ආව නම්බර්ස් ටික හොයලා ඒ කෝල්ස් දුන්න අය ෆලෝ කරන්න. එකත් එකටම මේ මර්ඩර් එකේ සම්බන්ධයක් වෙතන තියෙනවා. අපි නියම තැනට අතගහලා තියෙන්නේ.’’

අනුරුද්ධ බණ්ඩාරනායක මහතා සිය විමර්ශන නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දෙමින් කීවේය. ජංගම දුරකථන විශ්ලේෂණ වාර්තා අනුව චන්දනගේ ජංගම දුරකථනයට වැඩිපුරම ඇමතුම් ලැබී තිබුණේ අරුණ සහ දසුන් යන පුද්ගලයන් දෙදෙනාගේ ජංගම දුරකථනවලින්ය. අරුණ පිළිබඳව තොරතුරු සොයාබැලූව ද ඔහු ආගිය ස්ථානයක් හෝ පදිංචිව සිටින ස්ථානයක් සොයා ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි වුණේ නැත.

මේ අතර අරුණගේ සොහොයුරකුගේ දුරකථන අංකයක් සොයාගත් පොලිස් නිලධාරීන් ඔහු සොයා ගොස් මේ අභිරහසේ ඇත්ත නැත්ත සොයා ගැනීමට ඔහුගෙන් ප‍්‍රශ්න කරන්නට පටන් ගත්තේය.

‘‘සර් අරුණ කියන්නේ මගේ සහෝදරයා. එයා වඩැ කළේ ඔය චන්දන රාජපක්‍ෂගේ කම්පැණියෙ. මල්ලිගෙ මහ ගෙවල් තියෙන්නේ මාතලේ රත්තොට. එයා නිතර එහේ යනවා එනවා. මල්ලි බඳින්න හිටිය ගෑනු ළමයා නදීකා. එයා වැඩකලෙත් චන්දන මහත්තයාගෙ කම්පැණියෙ. නදීකා පදිංචිවෙලා ඉන්නේ නිට්ටඹුවෙ.

අරුණගේ සොහොයුරු වැදගත් තොරතුරු රාශියක් පොලිස් නිලධාරීන් හමුවේ දිග හැරියේය.

තිලකවර්ධන මහතා ඇතුළු නිලධාරීන් පිරිස එදිනම නිට්ටඹුව ප‍්‍රදේශයට යන්නේ අරුණ පේ‍්‍රම සම්බන්ධතාවක් පවත්වාගෙන යන නදීකා නමැති තරුණිය සොයාගෙනය.

නදීකා තිසිවැනි වියේ පසු වූ රූමත් තරුණියක වූවාය. නිට්ටඹුවට නුදුරු ප‍්‍රදේශයක පදිංචි වී සිටි ඇය අරුණ දැන හඳුනා ගත්තේ මීට වසර 4 කට පමණ උඩදීය. නදීකා පැවසූ ආකාරයට මේ පේ‍්‍රම සම්බන්ධයට අඩිතාලම වැටෙන්නේ දුරකථන ඇමතුමක් හරහා ය. අරුණ නදීකාට වඩා වසර හතරකින් බාල තරුණයකු විය. එහෙත් ඔවුන් දෙදෙනාගේ පේ‍්‍රම සම්බන්ධයට ඒ වයස් පරතරය බලපෑවේ නැත. අරුණට නදීකා මුණගැසෙන අවස්ථාව වන විට ඇය රැකියා විරහිත තරුණියක වුවාය. ඒ වන විටත් අරුණ චන්දන රාජපක්‍ෂට අයත් ඉදිකිරීම් ආයතනයේ සේවය කරමින් සිටියේ.

‘‘මමත් ආසයි රස්සාවක් කරලා කීයක්හරි හම්බකරගන්න. ඔයාට පුළුවන් නම් මට හොඳ රස්සාවක් හොයලා දෙන්න. නදීකා සිය පේ‍්‍රමවන්තයා වූ අරුණට මේ ගැන නිතර කීවාය. නදීකා තමන් සේවය කරන ආයතනයේ

රැකියාවක් සඳහා සම්බන්ධ කර ගැනීමට අරුණ වැඩි කැමැත්තක් දැක්වූයේ නැත. එහෙත් ඇගේ දැඩි ඉල්ලීම ඉවත දැමීමට ඔහුට ශක්තියක් තිබුණේ ද නැත. අරුණ තමන් සේවය කරන ආයතනයේ හිමිකරු වූ චන්දන රාජපක්‍ෂ මුණගැසී තම අවශ්‍යතාව ඔහුට කියා සිටියේය.

‘‘හරි හරි උඹ බඳින්න ඉන්න කෙල්ල නම් අපි උදව් කරන්න එපායෑ. මට ඇප්ලිකේෂන් එකක් ගෙනත් දිපං. මං මොනවා හරි ජොබ්එකක් සෙට් කරලා දෙන්නම්.’’ චන්දන රාජපක්‍ෂ අරුණට කීවේය. චන්දන 46 හැවිරිදි වියේ පසු වූ අවිවාහකයෙකි. ඉදිකිරිම් ක්‍ෂේත‍්‍රයට සම්බන්ධ ආයතනයක හිමිකරු වූ චන්දන යහමින් මුදල් හරිහම්බ කළ ව්‍යාපාරිකයෙකි. සුරූපී කාන්තාවක් ඇසුරට චන්දන තුළ පැවතියේ මහත් ලොල් බවකි. වසර ගණනක් තිස්සේ චන්දන ඇසුරු කරමින් ඔහුගේ ආයතනයේ රාජකාරි කළ අරුණ ඔහුගේ මේ කාන්තා ඇසුරුකිරිම් ගැන හොඳින් දැන සිටියේය. තම පේ‍්‍රමවන්තිය වු සුරූපි නදීකා චන්දනගේ ආයතනයේ රැකියාවක් සඳහා සම්බන්ධ කිරීමට අරුණ අදිමදි කළේ ඔහුගේ කැරැට්ටුව හොඳින් දැන සිටි නිසාය. අවසානයේ නදීකා චන්දනට අයත් ආයතනයේ රැකියාවක් සඳහා බඳවා ගත්තේය.

‘‘අරුණ උඹ බඳින්න යන්නේ මාර ලස්සන කෙල්ලක්නේ. ඇත්තටම ඉරිසියා හිතෙනවා. ඒ කෙල්ලව දැක්කම. අපිට කොහෙන්ද ඔය වගේ ලස්සන කෙල්ලො.’’

නදීකා වැඩට ආව මුල්ම දවසේ චන්දන මේ ගැන කියමින් අරුණට උසුළු විසුළු කළේය.

කාලය කෙමින් ගෙවී ගියේය. වැඩිකල් නොගොස් චන්දනට තම ආයතනයේ සිටින හොඳම සේවිකාව වූයේ නදීකාය. ආයතනයේ හැම දේම චන්දන කීවේ නදීකාටය. අරුණ මේ සියල්ල දෙස බොහොම අවබෝධයෙන් යුතුව බලා සිටියේය. නදීකා රැකියා ස්ථානයට ආවේ නිට්ටඹුවේ පිහිටි මහගෙදර සිටය. කොළඹින් දුර බැහැර පදිංචිව සිටි නිසා නදීකාට දෛනිකිව රාජකාරි සඳහා පැමිණීම බෙහෙවින් දුෂ්කර විය.

සර්….. මම උදේ 7.30 වෙද්දි වැඩට එන්නම්. හැබැයි මට ටිකක් වේලාසන ගෙදර යන්න ඉඩ දෙන්න. මොකද අන්තිම බස් එක අල්ලගන්න බැරි වුණොත් මට ගෙදර යන්න ගොඩක් ? වෙනවා. නදීකා තමන් මුහුණ පා ඇති ගැටළුව පිළිබඳව චන්දන දැනුවත් කළාය. එහෙත් චන්දන ඒ කිසිවක් ගණනකට ගත්තේ නැත. රාත‍්‍රිය වනතුරු නදීකා තම ආයතනයේ රඳවා ගෙන විවිධ රාජකාරි කරවාගත් චන්දන ඔහුගේ මෝටර් රථයෙන් නදීකා සිය නිවස වෙත ඇරලවීමට කටයුතු කළේය. නරියාට කුකුළන් භාර දුන්නාක් බඳු වූ මේ සිදුවීම දෙස අරුණ බලා සිටියේ දැඩි කෝපයෙන් යුතුවය. එහෙත් තම ආයතන ප‍්‍රධානියාට විරුද්ධ වීමට ඔහුට හැකියාවක් තිබුණේ නැත. නදීකා තම ආයතන ප‍්‍රධානියා වූ චන්දන ළඟින් ඇසුරු කළ ද අරුණ සමඟ පැවැත්වූ පේ‍්‍රම සම්බන්ධතාවට එය බාධාවක් කර ගත්තේ නැත. චන්දන සමඟ ඔහුගේ මෝටර් රථයෙන් නිට්ටඹුවට යන්නට නදීකා අදිමදි කළාය.

‘‘අනේ අරුණ මට ඒ මිනිහා එක්ක කාර් එකේ යන්න බැහැ. ඒ යකා මට නිට්ටඹුවට යනකල් ඉන්න දෙන්නේ නැහැ. එහෙන් මෙහෙන් අතගානවා. මාව කිස් කරනවා. මට දෙන්න පුළුවන් හිම වධයක්ම දෙනවා. මට මිනිහා එක්ක තවත් වාහනේ යන්න බැහැ.’’

නදීකා අරුණට මේ බව කියමින් හඬාවැටෙන්නට වූවාය.

‘‘මොනවා කරන්නද නදීකා. අපි මේ හැම දෙයක්ම ඉවසගෙන ඉන්න ඕනෙ. එන විදිහකට මුහුණ දෙන්න බලමු. ඔයා පුළුවන්තරම් මේ මිනිහගෙන් බේරිලා ඉන්න බලන්න.’’ අරුණ සිය පෙම්වතියට අවවාද කළේය.

නදීකා සොයා නිට්ටඹුවේ පිහිටි නිවසට ආ මාතලේ පොලිසියේ තිලකවර්ධන මහතා ඇතුළු නිලධාරීන්ට ඇය බොහෝ දේ හෙළි කළාය. පසුගිය දවසක අරුණයි චන්දන සර්රුයි අතරේ මොකක් හරි ප‍්‍රශ්නයක් වුණා. අරුණ මට ඒ ගැන වටින් ගොඩින් විස්තර කිව්වත් වෙච්ච දේවල් මොනවද කියලා කිව්වේ නැහැ. මේ සිද්ධීන්වලින් පස්සේ මං වැඩට ගියේ නැහැ. අරුණ කොහෝ ගියාද කියලා මං දන්නෙත් නැහැ. එයා මට ළඟදී ටෙලිෆෝන් කළෙත් නැහැ.’’

නදීකා කිසියම් දෙයක් සඟවාගෙන පොලිස් ප‍්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබාදෙන බව තේරුම් ගන්නට පොලිස් පරීක්‍ෂක තිලකවර්ධනට තේරුම් ගන්නට එතරම් වේලාවක් ගතවුණේ නැත.

‘‘හරි අපි ඉතිරි හරිය හොයාගන්නම්. අපට අරුණගෙ ෆෝන් නම්බස් ටික දෙන්න.’’

පොලිස් නිලධාරීන් අරුණගේ ජංගම දුරකථන අංක ලබාගෙන නදීකාට සමුදී පිටව ගියේ අවශ්‍ය වුවොත් නැවත පැමිණෙන බව දැනුම් දෙමින් ය.

‘‘මේ මර්ඩර් එකට ඔය අරුණගෙයි නදීකගෙයි මොකක් හරි සම්බන්ධයක් තියෙනවා. මුලින්ම අරුණ කියන පුද්ගලයාව හොයාගන්න. එතකොට මේ අපරාධයෙන් භාගයක් අපට විසඳගන්න පුළුවන් වෙනවා.’’

දොඹගොඩ අභිරහස් මිනීමැරුමේ වර්තමාන තත්ත්වය විමසා බැලූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතා ඉදිරි විමර්ශන කර ගෙන යායුතු මාර්ගය ගැන පැහැදිලි කර දුන්නේය.

දුරකථන විශ්ලේෂන වාර්තා ඔස්සේ අරුණ අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් පොලිස් නිලධාරීන් විසින් ආරම්භ කළේය. දුරකථන කුළුණු සංඥා ඔස්සේ අරුණ ලූහුබැඳ ගිය පොලිස් පරීක්‍ෂක තිලකවර්ධන ඇතුළු නිලධාරීන් ලග්ගල ප‍්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගන්නා ලදි.

‘‘ඇයි සර් මාව ඇරස්ට් කරන්නේ. මම මාතලේ ඉන්න මගේ අම්මව බලන්න යන ගමන්. මට කරදර කරන්න එපා. යන්න දෙන්න. මම අහිංසක මිනිහෙක්.’’

අරුණ කන්නලව් කරන්න වුණේය. එහෙත් පොලිස් නිලධාරීන්ගෙන් ඔහුට ගැලවීමක් නැත. අරුණ අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් ඔහු මාතලේ පොලිසිය වෙත රැගෙන ගොස් ප‍්‍රශ්න කිරීම් ආරම්භ කළෝය. මුලදී තොරතුරු ලබා දීමට අදිමදි කළ ද පසුව සිදු වූ සියල්ල එකින් එක විස්තර කර දීමට අරුණට සිදුවුණේ තවදුරටත් සත්‍ය යටපත් කරගෙන සිටීමට නොහැකි බව ඔහුට තේරුම් ගොස් තිබූ නිසාය. සර්….. මම නදිකාට පණ වගේ ආදරේ කළා. මං එයාව බදින්න හිටියෙ. නදීකගෙන් බේරෙන්න බැරි තැන තමයි මං එයාව මේ නරුමය ළඟ රස්සාවට යැව්වේ. අන්තිමේදී මේ පාපතරයා මගේ නදීකව මගෙන් ඩැහැගන්න හැදුවා. සිදු වූ සියල්ල අරුණ හෙළිකරන්නට පටන් ගත්තේය.

චන්දන රාජපක්‍ෂ ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රයට සම්බන්ධ ආයතනයක් පවත්වාගෙන යන්නේ දීර්ඝ කාලයක සිටය. විවිධ ප‍්‍රදේශවල ඉදිකිරීම් කොන්ත‍්‍රාත් ලබාගෙන සිටි චන්දන සිය ආයතනයේ සේවකයන් යොදවා ඒ කාර්යයන් අකුරටම ඉෂ්ඨ කළේය. චන්දන නවාතැන් ගෙන සිටියේ තලංගම ප‍්‍රදේශයේ කුල’ නිවසකය. අවිවාහකයකු වුවද ඔහු සුරූපී තරුණියන් කීපදෙනෙකු සමඟම සමීප සබඳතා පවත්වාගෙන ගියේය. ඒ බොහෝ තරුණියන්ට ඔහු විවාහ යෝජනා ද කර තිබුණේය. තරුණියන්ට පමණක් නොව විවාහක සුරූපී කාන්තාවන් ද ඇසුරු කිරීමට චන්ද රාජපක්‍ෂගේ විනෝදාංශයක් විය.

තමන් සමඟ සබඳතා පවත්වන ආර්ථික අපහසුතා ඇති තරුණියන්ට මූල්‍යමය වශයෙන් උදව් උපකාර කිරීමට චන්දන අදිමදි කළේ නැත. එමෙන්ම එහු ඇසුරු කළ ධනවත් විවාහක කාන්තාවන්ගෙන් මිල මුදල් රන් ආභරණ ඇතුළු වටිනා දේ ලබා ගන්නට ද ඔහු අමතක කළේ නැත. තම ආයතනයේ සේවයට එන නදීකා සමඟ ද සබඳතාවක් ගොඩනඟාගන්නට චන්දන උත්සාහ ගත්තේය. එහෙත් ඇය අරුණට විවාහ පොරොන්දුවක් දී තිබූ නිසා චන්දනගේ අවශ්‍යතාවන් ඉෂ්ඨ කර ගන්නට ඉඩ ලැබුණේ නැත. රාත‍්‍රි සේවය අවසන් කර නදීකා නිට්ටඹුවේ පිහිටි නිවස වෙත ඇරලවීමට චන්දන පෙළඹෙන්නේ ඒ යන අතරමඟදී ඇය සමඟ කිසියම් ලිංගික ආශ්වාදයක් ලබා ගැනීමේ පහත් චේතනාව නිසාමය. රැකියාවට තිබූ ආදරය නිසාම නදීකා ද මේ පාපතරයාගෙන් විඳින්නට සිදුවන සියළු අතවර දුක්ගැහැට විඳදරාගෙන සිටියාය. ඇතැම් අවස්ථාවලදී ඇය තමන්ට විඳින්න සිදුවන ලිංගික අතවර ගැන අරුණට කීවාය. ඒ සිදු වූ සියලූ දේ නොපවසා සැර බාලකරය.

චන්දනගේ ආයතනයේ කාර්යාල ගොඩනැඟිල්ල වෙනත් ස්ථානයකට රැගෙන යෑමට සිදුවන්නේ ඔය අතරතුරදීය. අලූතින් ඉදිවන කාර්යාලයේ සීසීටිවී කැමරා සවිකිරීම මෙන්ම එහි ඇතුළත සැකසීම සඳහා චන්දන සිය සමීපතම සේවකයා වන අරුණ ද කැන්දාගෙන ගියේය. ඒ අපේ‍්‍රල් 17 වැනිදාය. එදින චන්දන මෙන්ම අරුණ ද කාර්යාලයේ ඉදිකිරීම් කටයුතු කරමින් සිටියේය. ඒ අතරතුර චන්දන නදීකාගේ ප‍්‍රශ්නය හිටි හැටියේම ඇද ගත්තේය.

‘‘අරුණ මං මේක කාලෙක ඉඳලා උඹට කියන්න හිටියේ. උඹ වෙන අතක් බලාගනින්. මම නදීකට කැමතියි. මං එයාව කසාද බඳිනවා. උඹට වයසත් තියෙන නිසා වෙන කෙල්ලක් හොයාගන්න පුළුවන්නෙ.’’ චන්දන කාලයක් තිස්සේ සිතේ සිරකරගෙන සිටි සියල්ල එකින් එක පිට කරන්නට පටන් ගත්තේය.

‘‘සර්ට පිස්සුද මං කොහොමද නදීකව අමතක කරන්නේ. මා ඒකිට ගොඩක් ආදරෙයි. අනික අපි හෙට අනිද්දා කසාද බඳින්නත් ඉන්නේ. ඒකී කොහොමටවත් සර්ට කැමතිවෙන එකක් නැහැ.’’

අරුණ චන්දනට කීවේ තරමක නොක්කඩු ස්වරයෙන් ය.

‘‘හරි…. හරි ඒකිව කැමතිකරවගන්න එක මං බලාගන්නම්. මං උඹට ලොකු ගාණක් දෙන්නම්. ඒ සල්ලි ටිකත් තියාගෙන නදීකව මට බාර දීපං.’’

චන්දන දිගින් දිගටම ආයාචනය කරන්න පටන් ගත්තේය. ඒ ආයාචනය අවසානයේ තර්ජනයක් බවට පත් වුණේය.

‘‘උඹ දැනගනිං අන්ඩර්වර්ල්ඞ් එකේ ඉන්න හොඳ වැඩකාරයො මගෙ ළඟම යාළුවෝ. මේ පළාතෙ ඉන්න පොලිස් ලොක්කො සේරම මං ආශ‍්‍රය කරනවා. මට ඕනෙනම් උඹව විසික්කරලා දාන්න පුළුවන්. උඹට මං වෙච්චර වෙලා වැන්දෙ නැති ටික විතරයි. ඒක උඹ අහන්නෙ නැත්නම් මට සිද්ධ වෙනවා නරකින් හරි මේ ප‍්‍රශ්නය විසඳගන්න.’’ චන්දන කෝපයෙන් කෑගැසුවේය. දෙදෙනා අතර පැවති වාග් ප‍්‍රහාරය ගුටි කෙළියක් බවට පත්වන්නට වැඩි වේලාවක් ගත වුණේ නැත. කොහේදෝ සඟවාගෙන සිටි තියුණු ආයුධයක් උළුක්කරගත් චන්දන එකවරම අරුණ වෙත කඩා පැන්නේය. කලක් යුද හමුදාවේ සේවය කර තිබූ අරුණ බොහොම ශක්ති සම්පන්න තරුණයෙකි. අනපේක්‍ෂිතව තමන් වෙත කඩා පැන පිහියෙන් ඇනීමට උත්සාහ කළ චන්දන වැළැක්වූ අරුණ ඔහුට පා පහරක් එල්ල කළේය. ඒ ප‍්‍රහාරයෙන් චන්දන බිම ඇදවැටුණේය. සැනෙකින් ක‍්‍රියාත්මක වූ අරුණ ඔහු අත තිබූ තියුණු ආයුධය උදුරාගෙන චන්දනගේ ගෙල ප‍්‍රදේශයට ඇන්නේය. ඒ වන විට සීසීටීවී කැමරා සවිකිරීමට කැඳවා සිටි විමල් ද මේ සිද්ධිය වූ ස්ථානයට දිව ආවේය. විමල් අරුණගේ සමීප හිතවතෙකි. ඔහු හමුදා සේවයෙන් ඉවත්ව විවිධ රැකියාවල නිරත වෙමින් මුදල් ඉපයූ පුද්ගලයෙකි.

අරුණ මොකද මේ වෙන්නේ. ඇයි මේ මිනිහට පිහියෙන් ඇන්නෙ. විමල් කලබලයට පත්ව කෑ ගැසුවේය. කතා කරකර ඉන්න වෙලාවක් නැහැ. මුගෙ කකුල්දෙකෙන් අල්ලගනින්න මූව ඉවරයක් කරලා දාන්න ඕනෙ. අරුණගේ උපදෙස් මත විමල් බිම වැටී දඟලමින් සිටින චන්දනගේ පා යුගල දැඩිව ග‍්‍රහණය කරගත්තේය. අරුණ චන්දනගේ ගෙල ප‍්‍රදේශය කපා දැමුවේය. නදීකාගේ සුන්දරත්වය හමුවේ වල්මත් වී සිටි චන්දන ඇගේ පේ‍්‍රමවන්තයා අතින් අවසන් ගමන් ගියේය. ක්‍ෂණික කෝපයත් සමඟ සිදු වූ අපරාධයේ බරපතළකම අරුණට වැටෙහන විට සියල්ල සිදු වී හමාරය.

‘‘අපි දැන් මොකද කරන්නේ. මට හිතාගන්න බැහැ. මට මිනීමරුවෙක් වෙන්න බැහැ. මට මගේ නදීකා එක්ක එකට ජීවත් වෙන්න ඕනෙ.’’ අරුණ දොඩවන්නට පටන් ගත්තේය. මියගොස් සිටි චන්දනගේ නිසල සිරුර කාර්යාල ගොඩනැඟිල්ලේ කාමරයකට ඇද දමා එය තිර රෙද්දකින් වසා දැමූ අරුණ සිය මිතුරු විමල් සමඟ ඒ ස්ථානයෙන් පිටවූ අරමුණක් නොමැතිවය. චන්දනගේ මෝටර් රථයේ නැඟුණ අරුණ සහ විමල් කුරුණෑගල පිහිටි වැඩපොළට ගියහ. කළ යුත්තේ කුමක්ද යන්න ඔහුට සිතාගත නොහැක. අරුණ දහඅතේ කල්පනා කරමින් විසඳුම් සොයන්න උත්සාහ කළේය.

‘‘අපි ආපහු කොළඹ යමු. චන්දනගේ මිනිය කොහේ හරි ගෙනහින් විනාශ කරලා දාන්න ඕනෙ. නැත්නම් මාව කලමුලින්ම අහුවෙනවා.’’

අරුණ සහ විමල් නැවත තලංගම පිහිටි චන්දනගේ කාර්යාල ගොඩනැඟිල්ල වෙත ආහ. ඒ වන විට චන්දනගේ නිසල සිරුර දරදඬු වී තිබිණි.

‘‘අපි මේ යකාව කාර් එකට දාගමු. මෙතන තියලා යන එක අනතුරුදායකයි.’’ අරුණ සහ විමල් චන්දනගේ සිරුර ඔහුගේම මෝටර් රතයට පටවා ගත්හ. නිසල සිරුර රැගත් මෝටර් රථය මාතලේ රත්තොට ප‍්‍රදේශයට රැගෙන යන්නට අරුණ සහ විමල් කටයුතු කළහ. උකුවෙලදී රුපියල් 1500 ක මුදලකට පෙට‍්‍රල් මිලදී ගත් අරුන චන්දනගේ සිරුර රැගෙන දොඹගොඩ ප‍්‍රදේශයට පැමිණෙන විට 17 වැනිදා මධ්‍යම රාත‍්‍රිය එළඹී තිබිණි. මුළු ප‍්‍රදේශයම ඝන අන්ධකාරයෙන් වැසී ගොසින් ය. දැඩි සීතල උහුලාගත නොහැක. එහෙත් අරුණගේ සහ විමල්ගේ සිරුර දහදියෙන් තෙත්ව ගොසින්ය. බියජනක සිතුවිලි ඔවුන් දෙදෙනා වරින්වර භීතියට පත් කිරීමට සමත් විය. චන්දනගේ සිරුර කැලෑබද ප‍්‍රදේශයකට ඇද දැමු අරුණ සහ විමල් පෙට‍්‍රල් වත්කර ඊට ගිනි තැබුවේය. චන්දනගේ සිරුර පිළිස්සි විනාශ වී යන විට අරුණගේ සිතට යම් සහනයක් දැනුණේය. අරුණ සිතුවේ මේ ගිනි දැල් අතරින් චන්දනගේ ඝාතනය සදාකාලිකව වැලලී යන අපරාධයක් වනු ඇතැයි කියාය.

එහෙත් අරුණගේ සිතුවිලි එසේ නොවීය. අපරාධ විසඳීමේලා අති දක්‍ෂ නිලධාරීන් පිරිසක් චන්දනගේ අභිරහස් ඝාතනය ලූහුබැඳ ගියහ. අවසානයේදී අරුණ මෙන්ම විමල් ද පොලිසියට කොටුවුණේය. නදීකා සමඟ විවාහ වී සොඳුරු කැඳැල්ලක් තැනීමට සිහින මැවූ අරුණට අන්තිමේදී සිදුවුණේ ආණ්ඩුවේ බෝඩිමේ අඳුරු සිරමැදිරියක යකඩ කූරු ගනිමින් ජිවිතය ගෙවා දැමීමටය. මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් වංහනාථ මහත්වරුන්ගේ උපදෙස් මත මාතලේ මුලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක චානක ද සිල්වා, පොලිස් පරීක්‍ෂක තිලකවර්ධන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්‍ෂකවරුන් වන ඩබ්ලිව්. ජී. ඒකනායක, කීර්ති බණ්ඩාර, සැරයන්වරුන් වන (6922) බණ්ඩාරනායක (6577) කුරුප්පුගේ (14613) දිසානායක, (57197) ලසන්ත, කොස්තාපල් (68968) ජයතිස්ස මහත්වරුන් විමර්ශන පැවැත්වූහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?