මත් ජාවාරමට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ අත්අඩංගුවට

මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධීව තමිල්නාඩුවට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව ඉන්දීය වෙරළාරක්ෂක බළකාය පවසනවා.

ශ්‍රී ලංකා වෙරළට ආසන්නව පිහිටා ඇති දේශසීමා සහ නීතිවිරෝධී ක්‍රියා නිරන්තර සිදුවන ධනුෂ්කොඩි අසල දී මොවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඉන්දීය වෙරළාරක්ෂක බළකාය ඊයේ (28) දිනයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී මොවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ අත්අඩංගුවට ගැනුණු මොවුන් තිදෙනාගෙන් එක් අයෙක් මත්ද්‍රව්‍ය සම්බන්ධව නඩුවක දී අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස්ව සිටි අයෙකු බවත්, අනෙක් දෙදෙනා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අපරාධ වාර්තා ඇති අය පුද්ගලයින් බවයි.

මොවුන් රුපියල් ලක්ෂ 02 බැගින් ගෙවා පසුගිය සිකුරාදා රාත්‍රීයේ දී ශ්‍රී ලංකාවෙන් පිටත්ව ඇති අතර, ඔවුන් අලුයම 04.00 වන විට තමිල්නාඩුව වෙත පැමිණ වෙනත් රටකට පළායාමට සැලසුම් කර තිබූ බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් වැඩිදුර විමර්ශන සඳහා මණ්ඩපම් හී රාජ්‍ය සමුද්‍ර පොලීසිය වෙත භාර දී තිබෙනවා.