මත්පෙති 10600ක් සමඟ සැකකරුවන් 02ක් අත්අඩංගුවට

නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය සමග එක්ව සිදු කළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම්වලදි, මත්පෙති (Pregabalin Capsules) 10600ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සහ යතුරු පැදියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනය සහ සෙට්ටිකුලම් පොලිස් විශේෂ කාර්ය බලකාය එක්වයි ඊයේ සහ පෙරේදා මෙම වැටලීම් සිදු කර ඇත්තේ.

පෙරේදා (12) මිහින්තලේ ප්‍රදේශයේ සිදු කළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, යතුරුපැදියකින් යමින් සිටි සැක කටයුතු පුද්ගලයෙකු පරීක්ෂාවට ලක් කිරීමේදී අලෙවි කිරීම සඳහා රැගෙන යමින් තිබූ මත්පෙති 100ක් සමඟ එම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.

ඊයේ (13) තලෙයිමන්නාරම, කට්ටුකාරයන්කුඩිඉරිප්පු ප්‍රදේශයේ සිදු කළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, සැකකටයුතු පුද්ග‍ලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමේදී, උරයක් තුළ සඟවා තිබූ මත්පෙති 10500ක තොගයක් සොයා ගෙන තිබෙනවා.

සැකකරුවන් වයස අවුරුදු 23 ක් සහ 38ක් වන මිහින්තලේ සහ තලෙයිමන්නාරම යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන්.

මිහින්තලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු මත්පෙති තොගය සහ යතුරු පැදිය සමග මිහින්තලේ පොලිසිය වෙතත්, තලෙයිමන්නාරම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්පෙති තොගය තලෙයිමන්නාරම පොලිසිය වෙතත් භාරදී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්