spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බුදු දහමට අපහාස කළ කාන්තාව සහ අනෙක් පුද්ගලයා තවදුරටත් රිමාන්ඩ්

බුදු දහමට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශ සිදු කළේ යැයි අත්අඩංගුවට ගෙන සිටින නතාෂා එදිරිසූරිය නම් කාන්තාව, බෲනෝ දිවාකර නම් පුද්ගලයා සහ රාජාංගනයේ සද්ධාරතන හිමි ලබන 21 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළා.

මෙම සිද්ධීන්වලට අදාළ පරීක්ෂණ තවමත් අවසන් වී නොමැති නිසාත් මෙම සිද්ධීන්වලට අදාළව මහජන නොසන්සුන්තාවක් නිර්මාණය වෙමින් පවතින නිසාත් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන බවයි මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ.

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නතාෂා එදිරිසූරිය සහ බෲනෝ දිවාකර නිදොස් කොට නිදහස් කළ යුතු බවට විදර්ශන කන්නන්ගර, තරිඳු ජයවර්ධන, තරිඳු උඩුවරගෙදර, ලක්මාලි හේමචන්ද්‍ර, බ්‍රිටෝ ප්‍රනාන්දු යන අය මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදු කර ඇති බවත් එතුළින් ඔවුන් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් සිහළ රාවය සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම සිද්ධිය පිළිබඳව විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කළා.

නතාෂා එදිරිසූරිය සහ බෲනෝ දිවාකරට අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ සැකකාර නටාෂා එදිරිසූරිය තමන් විසින් ඉදිරිපත් කළ ප්‍රශ්නගත ප්‍රකාශය සිදු කිරීමට පෙර ඊට අදාළ පිටපත සඳහා ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන නොමැති බවයි.

“ස්වාමීනි.. මෙම ප්‍රකාශය සිදු කිරීමට පෙර සැකකාරිය එහි පිටපත සඳහා ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයෙන් අවසර ලබාගෙන නැහැ. තමන් සිදු කිරීමට යන ප්‍රකාශය තුළ බරපතල ගැටලුවක් මතු විය හැකි බව ඇය දන්නවා. ඒ නිසයි ඊට අදාළ පිටපත රැඟුම් පාලක මණ්ඩලයට ඉදිරිපත් නොකළේ. මෙම සැකකාරිය විසින් සිදු කළ ප්‍රකාශය සඳහා මුදල් යෙදවීම, ප්‍රචාරය කිරීම සඳහා ආධාර අනුබල දීම බෲනෝ දිවාකර නමැති සැකකරු සිදුකර තිබෙනවා. ඒ නිසා මෙම සිද්ධිය සම්බන්ධයෙන් බෲනෝ දිවාකර යටතේ සිටින පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍යයි. මෙම සැකකරුවන්ට ඇප ලබා දුන හොත් එම සාක්ෂිවලට බලපෑම් සිදු වෙන්න පුළුවන්. ඒ වගේම ඔවුන්ට සාක්ෂි විනාශ කිරීමටත් හැකියාව තිබෙනවා.”යනුවෙන් සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටියා.

සැකකාර නටාෂා එදිරිසූරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්

ස්වාමීනි… මාගේ සේවාදායිකාව සිදු කළ ප්‍රකාශයක් නිසා බෞද්ධයින් කලබලයට පත්වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා. ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. මෙවැනි සිද්ධීන්වලින් බෞද්ධයින් කවදාවත් කලබලයට පත් වෙන්නේ නෑ. මෙවැනි ප්‍රකාශ නිසා බෞද්ධයින් කවදාවත් වෛරය පතුරු වන්නෙත් නෑ. වෛරයෙන් වෛරය නොසන්සිඳේ යන කරුණ තමයි බෞද්ධයාගේ මූලික පදනම. ඒ නිසා මාගේ සේවාදායිකාවගේ ප්‍රකාශය හේතුවෙන් බෞද්ධයින් ප්‍රචණ්ඩත්වයට යොමු විය හැකි බවට පොලිසිය කරන ප්‍රකාශය පිළිගන්න බැහැ. මෙම ප්‍රකාශය අප්‍රේල් මස පළ වනදා “මෝඩාභිමානය” නැමැති වැඩසටහනක දී සිදුකරන ලද්දක්. බුදුරජාණන් වහන්සේ කාලාම සූත්‍රය දේශනා කරමින් සඳහන් කර තිබෙනවා තමන් වහන්සේ කියන දෙයක් පවා එකවරම පිළිගන්න එපා කියලා. හොඳට හොයලා බලලා පිළිගන්න කියලයි උන්වහන්සේ දේශනා කරලා තිබෙන්නේ. මේ සැකකාරිය සිදු කළ ප්‍රකාශයෙන් බුදුරජාණන් වහන්සේට හෝ බෞද්ධ දර්ශනයට අපහාසයක් සිදුවී නෑ. එම ප්‍රකාශය නිසා බෞද්ධයින් අතර කැළඹීමක් ඇති වෙලත් නෑ. ඒ නිසා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත යටතේ චෝදනා පවත්වාගෙන යන්න බැහැ” යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා තම සේවාදායිකාව ඇපමත මුදාහරින ලෙස ඉල්ලා සිටියා.

සැකකාර බෲනෝ දිවාකර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්

ස්වාමීනි…සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත 3(1) වගන්තිය යටතේ මාගේ සේවාදායකයාට එරෙහිව පොලිසිය කරුණු වාර්තා කර තිබෙනවා. 3 (1) වගන්තිය යටතේ යුද්ධය පැතිරවීම, ප්‍රචණ්ඩ ක්‍රියාවලට පෙළඹීම් සිදුකිරීම, ජාතීන් හා ආගම් අතර ගැටුම් නිර්මාණය කිරීමට අනුබල දීම වැනි කටයුතු ඇතුළත් වෙනවා. එහෙත් මෙම ප්‍රකාශය අන්තර්ජාලයට උඩුගත කරා කියලා කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් උද්වෙගත වෙලා නෑ. යුද්ධය පැතිරවීමක් සිදුවෙලාත් නැහැ. එසේ නම් මාගේ සේවාදායකයා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත යටතේ අත්අඩංගුවට ගන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියදී “චිංචිමානවිකාව” පැමිණ උන් වහන්සේට අපහාස කළා. මෙම සිද්ධියට පාදක වන ප්‍රකාශයට වඩා දරුණු අපහාසයක් තමයි එදා සිදු වුණේ. එම අපහසයට එරෙහිව බුදුරජාණන් වහන්සේ කැළඹුණේ නැහැ. පැමිණිලි කළෙත් නැහැ. ඇක්ෂන් ගන්න කියලා උන් වහන්සේ එදා ආණ්ඩුවට කිව්වෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ සත්‍යය ජයගන්නා බව දැන සිටියා. ඒ නිසා එවැනි පියවරවල්වලට උන්වහන්සේ ගමන් කළේ නැහැ. බෞද්ධයින් තුළ තාදි ගුණය තිබිය යුතුයි. නොසැලෙන ගුණය තිබිය යුතුයි. නියම බෞද්ධයා අටලෝ දහමින් සැලෙන්නේ නැහැ. මෙම නඩුවට පාදක වන ප්‍රකාශයේ බරපතළ භාවය වටහා ගෙන මාගේ සේවාදායකයා පසුව එම වීඩියෝව අන්තර්ජාලයෙන් ඉවත් කරගෙන තිබෙනවා. සමාව ඉල්ලීමක් කර තිබෙනවා. එසේනම් මේ ආකාරයෙන් පියවර ගන්නේ ඇයි? නියම බෞද්ධයින් මේවා ක්‍රියා කරන්නේ නැහැ” යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥ ඉන්දතිස්ස මහතා තම සේවාදායකයා ඇපමත මුදාහරින ලෙස ඉල්ලා සිටියා.

මෙහිදී බලංගොඩ කස්සප හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මනෝජ් ගමගේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්”

ස්වාමීනි… ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම ආගමක් සම්බන්ධයෙන් මත පළ කරන්න පුළුවන්. ඒත් අපහාස කරන්න බැහැ. මෙම සැකකාරියගේ ප්‍රකාශයෙන් බුදුදහමට දැඩි අපහාසයක් සිදුවී තිබෙනවා. බුදු දහම කියන්නේ මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවා සුරක්ෂිත කොට පෝෂණය කර තිබෙන ධර්මයක්. ලංකාවේ වැඩි පිරිසක් බෞද්ධ බව ඇත්ත. ඒත් ඒ හැමෝම රහත් වෙලා නැහැ. මෙම ප්‍රකාශය නිසා බෞද්ධයින් අතර කැළඹීම් ඇති වෙන්න පුළුවන්. මිනීමැරීම් වැනි අනතුරු පවා ඇතිවීමට හැකියාව තිබෙනවා”යනුවෙන් නීතිඥ මනෝජ් ගමගේ පැවසුවා.

සිංහල රාවය සංවිධානයේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව ඇතැම් පුද්ගලයින් මාධ්‍ය සංදර්ශන පවත්වා ඔවුන් නිදොස් කොට නිදහස් කළ යුතු බවට බලපෑමක් සිදුකර ඇති බවයි.

” ස්වාමීනී.. මෙම සිද්ධියෙන් පසුව මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ විදර්ශන කන්නන්ගර තරිඳු ජයවර්ධන, ලක්මාලි හේමචන්ද්‍,ර බ්‍රිටෝ ප්‍රනාන්දු ඇතුළු පිරිසක් මෙම සැකකරුවන් නිදොස් කොට නිදහස් කළ යුතු බවට ප්‍රකාශ කර තිබෙනවා. මේක කෙලින්ම අධිකරණයට කරපු බලපෑමක්. අධිකරණයේ ස්වාධීනත්වයට කරපු අපහාසයක්. ඒ නිසා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ යුතුයි” යනුවෙන් ඉල්ලීමක් කළ එම නීතිඥවරයා අදාළ ප්‍රකාශ අඩංගු වීඩියෝ පටයක්ද අධිකරණයට ඉදිරිපත් කළා.

මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කර සිටියා.

ඉන් අනතුරුව ඇප ඉල්ලීම් වලට අදාල ලිඛිත දේශන සහ ඊට අදාළ විරෝධතා තිබේනම් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස පාර්ශවකරුවන්ට දැනුම් දුන් මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 21 වනදා ප්‍රකාශයට පත්කරන බවත් නිවේදනය කළා.

ඉන් අනතුරුව රාජාංගනයේ සද්ධාරතන හිමියන්ට එරෙහි පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින්

“ස්වාමීනි…. මීට පෙර අධිකරණය විසින් ලබාගත් නියෝගය පරිදි මෙම ස්වාමීන් වහන්සේට අයත් බැංකු ගිණුම් 12 ක් පිළිබඳ විස්තර ලබා ගැනීමට ඉල්ලීම් ඉදිරිපත් කළා. ඒ අතරින් බැංකු ගිණුම්ට 03 කට අදාළ ගනුදෙනු පිළිබඳ විස්තර ලැබී තිබෙනවා. එම බැංකු ගිණුම් තුන තුළ පසුගිය කාලයේ සැකකාර හිමියන්ගෙ නමින් රුපියල් කෝටි හයකට වැඩි මුදලක් තැන්පත් වී තිබෙන බව අනාවරණය වී තිබෙනවා. කිසියම් බාහිර පාර්ශ්වයක් විසින් මෙරට ආගමික නොසන්සුන්තාවය සහ යුද්ධයක් ඇති කිරීමේ අරමුණින් මේ මුදල් ලබාදී තිබෙන බවට සැකයක් මතුවී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ යුතුයි.”

විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් සැකකාර හිමියන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට විරෝධය පළ කළ සැකකාර රාජාංගනයේ සද්ධාරතන හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිල එගොඩ මහවත්තගේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්

“ස්වාමීනි… සැකකාර හිමියන්ගේ බැංකු ගිණුම්වලට මුදල් ලැබී තිබෙන බව පොලීසිය පැවසුවා. එසේ ලැබුණු මුදල්වලට සැකකාර හිමියන් කුමක් කළේද යන්න පිළිබඳව පොලීසිය සඳහන් කළේ නැහැ. එම මුදල් උන්වහන්සේට ලැබී තිබෙන්නේ බ්‍රිතාන්‍ය සිටින දායකයෙකුගෙන්. එම මුදල් වලින් උන් වහන්සේගේ තම විහාරස්ථානයේ දාන ශාලාවක්, ළදරු පාසලක්, විහාර ගෙයක් ඉදිකර තිබෙනවා. දරුවන් විශාල පිරිසකට දිවා ආහාර ලබා දීමත් සිදු කර තිබෙනවා. ප්‍රදේශයේ මරණයක් වූ විට රුපියල් 70,000ක මුදලක් පිරිනැමීමක් සිදු කරනවා. උන් වහන්සේ සිදු කළ ප්‍රකාශයෙන් කිසිදු ආගමික කැළඹීමක් ඇතිවී නැහැ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නිර්දේශ වලට අනුව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ නඩු පැවරීම සඳහා අවශ්‍යතා හයක් සම්පූර්ණ විය යුතුයි.”

මෙහිදී විත්තියේ නීතිඥවරයා ඇමතු මහේස්ත්‍රාත්වරයා එම මාර්ගෝපදේශ අපගේ පනත තුළ අන්තර්ගත කර තිබෙනවා දැයි විමසුවා.

“එවැනි මාර්ගෝපදේශ අපගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත තුළ ඇතුළත් කර නැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගොස් ඉදිරිපත් කළ යුතු කරුණු මේ අධිකරණයට රැගෙන ඒමෙන් වැඩක් නැහැ. ඇප ඉල්ලා සිටිනවා නම් ඊට අවශ්‍ය කරුණු පමණක් ඉදිරිපත් කරන්න”යනුවෙන් මහේස්ත්‍රාත්වරයා විසින් විත්තියේ නීතිඥවරයාට ප්‍රකාශ කලා.

ඒ අනුව ඇප ඉල්ලීම්වලට අදාල කරුණු තිබේ නම් ඒවා ලිඛිත දේශන වශයෙන් ඉදිරිපත් කරන ලෙස විත්තියේ නීතිඥවරුන්ට නියෝග කළ විනිසුරුවරයා ඊට අදාළ විරෝධතා තිබෙනම් ලබන 21 වනදා ඉදිරිපත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

ඒ අනුව රාජාංගනයේ සද්ධා රතන හිමියන් ලබන 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද අධිකරණය නියම කළා.

මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේ දී නටාෂා එදිරිසූරිය, බෲනෝ දිවාකර සහ රාජාංගනයේ සද්ධාරතන හිමියන් බන්ධනාගාරයේ සිට සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
15
+1
5
+1
57
+1
9
+1
7
+1
4
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?