බීමතින් ආ පියා දරුවාගේ ඇඟට උණු වතුර වත්කරලා

බීමතින් පැමිණි පියෙකු විසින් තම අවුරුදු තුනක් වන දරුවාගේ ශරීරයට උණු වතුර වත්කර පිළිස්සුම් තුවාල සිදුකළ පුවතක් ලිඳුල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

එහිදී බරපතළ පිළිස්සුම් තුවාල සහිතව දරුවා ඊයේ (24) පස්වරුවේ ලිඳුල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

ඊයේ (24) පස්වරුවේ අධික ලෙස බීමතින් පැමිණි පියා ඔහුගේ මව සමඟ ඇතිකරගත් ආරවුලකින් පසු මුළුතැන්ගෙට ගොස් රත් වී තිබූ කේතලයේ උණු වතුර ගෙන දරුවාගේ ඇඟට වත්කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී දරුවාගේ කොන්ද සහ පිට ප්‍රදේශයට බරපතළ පිළිස්සුම් තුවාල සිදුව තිබෙනවා.

මෙම දරුවාගේ මව කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින අතර, දරුවා මිත්තණිය භාරයේ හැදී වැඩී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් දරුවාගේ මිත්තණිය විසින් ලිඳුල පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, ඒ අනුව ලිඳුල, බෙයාර්විල් වත්තේ පදිංචි සැකකාර පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පිළිස්සුම් තුවාල ලැබූ දරුවා මේ වනවිට ලිඳුල ප්‍රාදේශිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.