spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බැංගලෝරයේ නොසිතූ පරාජයෙන් මුම්බායි ඉන්දියන්ස් පිළට සුපිරි හතර වටයේ දොරටු විවර වෙයි

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට සුපිරි හතර වටයේ දොරටු විවරකරදීමට හර්දික් පාණ්ඩ්යා ප්‍රමුඛ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ කටයුතු කළා.

ඒ, ඊයේ (21) රාත්‍රියේ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් පිළට එරෙහිව, බැංගලෝර් නුවර එම්.චින්නස්වාමි ක්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන් කඩුලු 06ක ජයක් හිමිකර ගැනීමත් සමඟයි.

තරගාවලියේ සුපිරි හතරදෙනා අතරට පිවිසීමට මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම් අතර ඊයේ රාත්‍රිය වනවිට තියුණු සටනක් පැවතියා.

ඒ, අනුව සුපිරි හතරදෙනා අතරට පිවිසීමට බැංගලෝර් ක්‍රීඩකයින්ට ඊයේ තරගයේ ජය අනිවාර්ය වූ අතර, මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩකයින් සඳහා සුපිරි හතරදෙනා අතරට පිවිසීමට බැංගලෝර් පරාජය වැදගත්ව පැවතියා.

කෙසේ වෙතත් ඊයේ තරගය පරාජයට පත්වීමත් සමඟ බැංගලෝර් ක්‍රීඩකයින් මෙවර තරගාවලියෙන් ඉවත්ව ගොස් මුම්බායි ඉන්දියන්ස් පිළට අවසන් සුපිරි හතරදෙනාගේ වටයේ දොරටු විවර වුණා.

මෙම තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් බැංගලෝර් ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 197ක තරගකාරී ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහිදී වැඩි බරක් කරටගෙන ක්‍රීඩා කළ සුපිරි පිතිකරු විරාට් කෝලි මෙවර තරගවලියේ පිට පිට වාර්තා කළ දෙවන ශතකය රැස්කළ අතර, එහිදී ඔහු පන්දු 61කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 101ක් රැස්කිරීමට සමත් වුණා.

බැංගලෝර් පිළ වෙනුවෙන් ෆාෆ් ඩූ ප්ලෙසිස් ලකුණු 28ක් සහ මයිකල් බ්‍රේස්වෙල් ලකුණු 26ක් රැස් කළා.

ඉන් අනතුරුව ලකුණු 198ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ගුජරාට් ක්‍රීඩකයින්ට තරමක ආක්‍රමණශීලී පන්දු යැවීමක් බැංගලෝර් පන්දු යවන්නන්ගෙන් එල්ල වුණා.

එහිදී ආරම්භක පිතිකරු වෘද්ධිමාන් සහා ලකුණු 12ක් ලබාගෙන සිටිය දී ගුජරාට් පළමු කඩුල්ල ලෙස දැවීගිය අතර, ඉන් අනතුරුව පිටියට පිවිසි විජේ ශංකර් අනෙක් ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් සමඟ එක්ව ගුජරාට් ජයග්‍රහණයේ මාවත සකසා දුන්නා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් විජේ ශංකර් ලකුණු 53ක් රැස් කිරීමට සමත් වූ අතර, ඊයේ තරගයේ දී පිතිකරණ ලැයිස්තුවේ උසස්වීමක් ලැබූ දසුන් ශානක ලකුණු බිංදුවකට දැවී ගියා.

කෙසේ වෙතත් සිය කණ්ඩායම ඉතා සුරැකිව ජයග්‍රහණය කරා රැගෙන ගිය ශුබ්මන් ගිල් පන්දු 52කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 104ක් රැස්කළා.

ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලිගේ වාර්තාවන් සම කිරීමට හෝ එම වාර්තාවන් බිඳ හෙළීමට ඉන්දීය කණ්ඩායම තුළ සිටින මීළඟ ක්‍රීඩකයා තමන් බවට මේ වනවිට පසක්කර ඇති ශුබ්මන් ගිල් ඊයේ රැස්කළ ශතකය තරගාවලියේ ඔහු පිට පිට වාර්තාකළ දෙවන ශතකය වීම ද විශේෂත්වයක්.

බැංගලෝර් පන්දු යවන්නන්ට රිසි සේ පහර දෙමින් ගිල් රැස්කළ ශතකයට දැවැන්ත හයේ පහර 08ක් සහ හතරේ පහර පහක් ඇතුළත් වුණා.

ඒ, අනුව තරගය අවසානයේ පන්දුවාර 19යි එක් පන්දුවක් තුළ කඩුලු 04ක් පමණක් දැවී ලකුණු 198ක් රැස්කරමින් ගුජරාට් ක්‍රීඩකයින් මෙම තරගය ජය ගත්තා.

මෙම ජයත් සමඟ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ තමන් ලැබූ දසවන ජයත් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රමුඛස්ථානයේ තව දුරටත් රැඳී සිටිනවා.

ඊයේ රාත්‍රී අවසන් වූ මෙම තරගයත් සමඟ මෙවර තරගාවලියේ ප්ලේඕෆ් වටයේ සියලුම තරග අවසන් වූ අතර, මේ වනවිට සුපිරි හතර වටයට එක්වන කණ්ඩායම් 04 තේරී පත්ව අවසන්.

ඒ, අනුව ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන හතරේ පිළිවෙලින් රැඳී සිටින ගුජරාට් ටයිටන්ස්, චෙන්නායි සුපර් කිංග්ස්, ලක්නව් සුපර් ජයන්ට්ස් සහ මුම්බායි ඉන්දියන්ස් සුපිරි හතර වටය සඳහා මේ වනවිට සුදුසුකම් ලබා සිටිනවා.

1 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?