රට තුළ කිසිඳු හිඟයකින් තොරව ඉන්ධන බෙදාහැරීම අරඹා ඇති බවට තමන් සහතික වන බව බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි.
කෙසේ වෙතත් අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල දිගු ඉන්ධන පෝලිම් පැවතිනි.
පවතින ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා බලශක්ති අමාත්‍යංශයේදී අද දහවල් පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ විෂයභාර අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා.
“අද මම හිතන විදියට ලංකාවේ සෑම ඉන්ධන ගබඩාවකටම වගේ ඉන්ධන සපයලා තියෙනවා. කොළඹ , ගම්පහ, කළුතර දිස්ත්‍රක්වල කිසි ප්‍රශ්නයක් නෑ. තෙල් සංස්ථාවේ ඉතිහාසයේ වැඩිම මිල වැඩි කළේ කරන්න බැරිකමට. අපි IOC සමාගමටත් කියලා තියෙනවා මේ වැඩි කරපු මිල තෙල් සංස්ථාවේ මිලට පහත් කරන්න කියලා. අපිට ඉදියාවෙන් තෙල් එනවා 20වනදා වෙනකොට. ඩිසල්, පෙට්‍රල්, භූමි තෙල්, දැවි තෙල් සියල්ලම එනවා. කිසිම ප්‍රශ්නයක් නැතුව රටේ විදුලි අර්බුදයක් නැතුව හැම එකම කරන්න පුලුවන් වෙනවා. අපි සහතිකයක් වෙනවා හිඟයකින් තොරව ලංකාවේ ඛනිජ තෙල් ලංකාවේ දිගටම කරගෙන යන්න”
ප්‍රශ්නය – දැන් ඇමතිතුමා ඉන්දියාවෙන් ලැබුණු ඩොලර් මිලියන 500 අවසන් වුණාට පසු ඇතිවන තත්ත්වෙට මුහුණදෙන්න සූදානම්ද?
අමාත්‍යවරයා – ඒක ගෙවනකොට තව දිග් කරනවා. ඊට අමතරව, වෙනත් පාර්ශ්වවලින් ඉන්ධන ගන්නවා.
ප්‍රශ්නය- දැන් ඔබතුමා සඳහන් කළා අද ඉන්ධන පෝලිම් දකින්නට ලැබුණේ නැහැ කියලා. අපිට නම් දකින්න ලැබුණා ඉන්ධන පෝලිම්.
අමාත්‍යවරයා – කොළඹ මං හිතන්නේ ගොඩක් තැන්වල පෝලිම් නැහැ. ස්ථානය පොඩ්ඩක් කිව්වානම්.
ප්‍රශ්නය – අග්‍රාමාත්‍ය කාර්යාලය එහාපැත්තේ තියෙන පිරවුම්හලේ දිගු පෝලිම්. ඇමතිතුමාට පොඩ්ඩක් ගියානම් බලාගන්න පුළුවන්.
අමාත්‍යවරයා – මේ එහා පැත්තේ තියෙන එකනේ. පොලිම කියන්නේ මේ හැතැප්ම ගණන් පෝලිම් නැහැ.වාහන 10 , 15 ක් ඇති.
ප්‍රශ්නය – පෝලිම්වල ඉන්න ජනතාව කියන්නේ මැති ඇමතිවරුනම් පෝලිම්වල නැහැ කියලා.
අමාත්‍යවරයා – මැති ඇමතිවරු අද නෙමේ එදත් ගියේ නෑනේ පෝලිමේ.
ප්‍රශ්නය – මැති ඇමතිවරුන්ට මේ ප්‍රශ්නේ නෑ නේද?
අමාත්‍යවරයා – ප්‍රශ්නේ තියනවා. ගොඩක් මැති ඇමතිවරු ඩීසල් හොයලා දෙන්න කියලා කියනවා. ඉතින් අපි තියන ෂෙඩ් එකකට කෝල් කරලා කියනවා අහවල් මන්ත්‍රීතුමා එනවා ඩිසල් ටිකක් දෙන්න කියලා. ඒක යුතුකමක් අපේ.
ප්‍රශ්නය – ඒ අවස්ථාව ජනතාවට නැනේ ඇමතිතුමා. වැරදිනේ ඇමතිතුමා.
අමාත්‍යවරයා – ජනතාවට ඒ කටයුතුත්ත කරන්න තමයි, මොන මිල ගණන් වලට වුණත් ඩීසල් ගෙනල්ලා බෙදන්නේ.
තල්දියවත්ත මුහුදු සීමාවට පසුගියදා ඩීසල් මෙට්‍රික් ටොන් 38,300 ක් රැගෙන පැමිණි නෞකාවෙන් ඩීසල් ගොඩබෑම මේවන විටත් සිදුකෙරේ.
බලශක්ති අමාත්‍යංශය පැවසුවේ පසුගිය සිකුරාදා ඊට අවශ්‍ය මුදල් ලබාදුන්නද නෞකාවේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ඉන් ඩීසල් ගොඩබෑම ප්‍රමාද වූ බවය.
කෙසේ වෙතත් මේවන විට ගොඩ බා ඇති ඩීසල්වලින් මෙට්‍රික් ටොන් 2000 ක් පිටපළාත්වලට පිටත් කර යවා අවසන් බවද එම අමාත්‍යංශය සඳහන් කළේය.
මේ අතර තවත් ඉන්ධන තොගයක් රැගෙන මෙරට මුහුදු සීමාවට පැමිණ ඇති නෞකාව තවදුරටත් නැංගූරම්ලා තිබේ.
ඒ ඊට අවශ්‍ය මුදල් මේවන තෙක් ගෙවානොමැති වීම හේතුවෙනි.
එම නෞකාවේ ඩීසල් ම්‍රෙටික්ටොන් 20,000 ක් සහ ගුවන්යානා ඉන්ධන මෙට්‍රික්ටොන් 20,000 ක් ඇති බවයි වාර්තාවෙයි.
තවත් පෙට්‍රල් මෙට්‍රික්ටොන් 37,500ක් රැගත් නෞකාවක් ද හෙට මෙරටට පැමිණීමට නියමිතය.
ඒ සඳහා අවශ්‍ය මුදල් මේවන විට ගෙවා අවසන් බව බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේය.
මේ අතර සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය අද මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් සිය කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්ව ඇති බවය.
මේ අතර විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසන්නේ මෙම වසරේ මෙගාවොට් 700ක් ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට කඩිනමින් පියවර ගන්නා බවය.
මේ අතර රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ විරෝධතාවයක් අද අම්බලන්තොටදී පැවැත්විණි.
තිස්ස – මාතර මාර්ගයේ අම්බලන්තොට මල්පෙත්තාව ප්‍රදේශයෙන් හා වලව ප්‍රදේශයෙන් කණ්ඩායම් දෙකක් ලෙස ආරම්භ කරන ලද මෙම විරෝධතාවය පසුව අම්බලන්තොට නගර මධ්‍ය දක්වා ගමන්ගෙන පසුව එම ස්ථානයේදී පැයක පමණ කාලයක් විරෝධතාවයක් පැවැත්වීය.
විරෝධතාවය හේතුවෙන් තිස්ස – මාතර මාර්ගයේ අම්බලන්තොට නගරය දැඩි රථ වාහන තදබදයක්ද ඇති වුණි.
මේ අතර ගෑස් , ඉන්ධන , අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟය සහ විදුලි කප්පාදුව ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් එක්සත් ජාතික පක්ෂයේ තරුණ පෙරමුණ ඊයේ රාත්‍රී කිරුළපන නගරයේ දී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.
ඊට සහභාගිවූවන් විදුලි කප්පාදුවට විරෝධය පළ කරමින් දැල්වූ ඉටිපන්දම් අතැතිව උද්ඝෝෂණ පාඨ කියමින් රජයට විරෝධය පළ කළේය.
මේ අතර අවිස්සාවේල්ල නගරයේ ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන නොමැතිවීමත් සමඟ ජනතාව එම අවිස්සාවේල්ල – කොළඹ මාර්ගය හරස් කරමින් විරෝධතාවයේ නිරත වුණි.
පසුව අවිස්සාවේල්ල පොලිසියේ නිලධාරීන් පැමිණ විරෝධතාකරුවන් පාලනය කිරීමට කටයුතු කළේ ඉන්ධන බවුසරයක් පැමිණෙන බව පවසමිනි.













