බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්ය) සේනක පල්ලේතැන්න ඇතුළු උසස් බන්ධනාගාර නිලාධාරීන් පිරිසක් අද (16) පෙරවරුවේ මල්වතු සහ ආස්ගිරි මහානායක හිමිවරුන් බැහැදැකීමට පැමිණියා.
බන්ධනාගාර ආඥාපනත යටතේ සාදන ලද නීති රෙගුලාසි සහ නිත්ය නියෝග යාවත්කාලීන කරමින් චක්ර ලේඛයක් නිකුත් කර ඇති බවයි මෙහිදී බන්ධනාගාර කොමසාරිස්වරයා මහා නාහිමිවරුන් දැනුම්වත් කර සිටියේ.
මෙහි දී අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්ය වරකාගොඩ ශ්රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ සඳහන් කළේ සිරගතකර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කළ යුතු බවයි.
එහිදී නාහිමියන්, බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් විමසා සිටියේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදීමට ක්රමවේදයක් ඇත්ද යන්නයි.
ඒ සම්බන්ධයෙන් මේ දක්වා නිශ්චිත තීරණයක් ගෙන නොමැති බවයි ඊට පිළිතුරු ලබාදෙමින් බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කළේ.
මේ අතර බන්ධනාගාර කොමසාරිස්වරයා, මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්ය තිබ්බටුවාවේ ශ්රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැදකි අවස්ථාවේ උන්වහන්සේ පවසා සිටියේ භික්ෂූන් වහන්සේ බන්ධනාගාරය තුළ රඳවා තැබීම සඳහා වෙනම ස්ථානයක් සකසා එහිදී උන්වහන්සේලාට ආගමික කටයුතු කිසිදු කිරීමේ නිදහස ලබාදිය යුතු බවයි.










