පාසල් සිසුන් දෙදෙනා සුහුරු පන්ති කාමරය කඩා ලැප්ටොප් දුසිමක් උස්සලා (වීඩියෝ)

බේරුවල ආරියවංශ විද්‍යාලයේ සුහුරු පන්ති කාමරය කඩා එහි තිබූ ලැප්ටොප් පරිගණක යන්ත්‍ර 12ක් සොරකම් කළ එම පාසලේ ම සිසුන් දෙදෙනෙක් ඇතුළු පස්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමට නියමිත 16 හැවිරිදි සිසුන් දෙදෙනෙක් සහ පානදුර, පාදුක්ක යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් තිදෙනෙක්.

මොවුන් විසින් පසුගිය පෙබරවාරි මාසයේ පොහෝ දිනයේ දී පාසලේ සුහුරු පන්ති කාමරය කඩා එහි තිබූ ලැප්ටොප් පරිගණක යන්ත්‍ර 12ක් සොරාගෙන ගොස් තිබෙනවා.

එම පාසලේ සිසුන් දෙදෙනෙක් ලැප්ටොප් පරිගණක යන්ත්‍ර අලෙවි කිරීමට සොයන බවට පොලිසිය ලද තොරතුරක් මත ඔවුන් දෙදෙගෙන් ප්‍රශ්න කිරීමට කටයුතු කර තිබුණා.

එහිදී අනාවරණය වී ඇත්තේ පානදුර සහ පාදුක්ක යන ප්‍රදේශවල පුද්ගලයින් තිදෙනෙකු සම්බන්ධ කරගනිමින් ඒවා අලෙවි කිරීමට සූදානම් කළ බවයි.

ඒ, අනුව ක්‍රියාත්මක වූ බේරුවල පොලිසිය සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන සොරකම් කරන ලද ලැප්ටොප් පරිගණක යන්ත්‍ර පාදුක්ක ප්‍රදේශයේ සැලූන් එකක සඟවා තිබිය දී සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් පස්දෙනා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.