spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් ධම්මික දසනායක මහතාගේ සේවය ඇගයීමට ලක් වෙයි

පසුගිය 23 වැනිදා සිට සේවයෙන් විශ්‍රාම ගනු ලැබූ පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් ධම්මික දසනායක මහතාගේ සේවය අගයමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු රැසක් අද (25) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා.

සම්ප්‍රදානුකූලව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයෙකු විශ්‍රාම ගත්විට සේවය ඇගයීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීම සදහා කාලය වෙන් කිරීම සිදු වනවා.

මේ අනුව අද පාර්ලිමේන්තුවේ පෙරවරු 9.30 සිට දහවල් 12.30 දක්වා කාලය හිටපු මහලේකම් ධම්මික දසනායක මහතාගේ සේවය ඇගැයීමේ යෝජනාව සඳහායි වෙන් කර තිබුණේ.

මෙහිදී සභාවේ අවසරය මත කථානායක අසුනට පහලින් පිහිටි ලේකම් මඩුල්ලේ ආසනයකට හිටපු මහලේකම්වරයාට කථානායකවරයා විසින් ආරාධනා කිරීම සිදු කෙරුණා.

අනතුරුව පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් හිටපු මහලේකම් ධම්මික දසනායක මහතාගේ සේවය ඇගැයීමේ යෝජනාව ඉදිරිපත් කළා.

ධම්මික දසනායක මහතා පුරා වසර 29ක් මුළුල්ලේ ඉටුකළ අගනා සේවය, පාර්ලිමේන්තු‍වේ කාර්ය පටිපාටි සහ පිළිවෙත් පිළිබදව එතුමා සතුවූ පුළුල් දැනුම මෙම පාර්ලිමේන්තුව ඉතා ඉහළින් අගය කරන බවයි එම යෝජනාව ඉදිරිපත් කරමින් සභානායකවරයා ප්‍රකාශ කළේ.

එසේම රාජකාරී ඉටුකිරීමේදී ඔහු සතුවූ දැඩි කැපවීම ද පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ ආසියානු කලාපීය ලේකම් ලෙස කටයුතු කිරීමෙන් පොදු රාජ්‍ය මණ්ඩලය තුළත් ඉන් පිටතදීත් විවිධ පාර්ලිමේන්තු මන්ත්‍රී සංගම්වලදීත් එතුමාගෙන් ලැබුණු විශිෂ්ට දායකත්වය කෘතගුණපූර්වකව සලකන බවත් සේවය ඇගයීමේ යෝජනාව ඉදිරිපත් කරමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන ප්‍රකාශ සිටියේ පාර්ලිමේන්තුව තුළ විවිධ අභියෝගාත්මක අවස්ථාවලදී ස්වාධීනව සහ ශක්තිමත්ම මුහුණ දීමට හිටපු මහලේකම්වරයාට හැකියාව හිමිවූ බවයි. කථානායකවරුන් හත් දෙනෙකු යටතේ මෙන්ම ආණ්ඩු ගණනාවක් තුළ පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය සහ ගෞරවය ආරක්ෂා කිරීමට එතුමා සමත්වූ බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා.

එසේම පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම ඇතුළු එතුමාගේ සේවා කාලය තුළ මුහුණදීමට සිදුවූ ඉතාම අභියෝගාත්මක අවස්ථා නිවැරදිව කළමනාකරණය කිරීමේ හැකියාව හිටපු මහලේකම්වරයාට ලැබුණු බවයි නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කළේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා ස්ථාපිත කිරීම ඇතුළු වඩාත් ප්‍රජාතාන්ත්‍රික සාධනීය පියවරයන් සදහා හිටපු මහලේකම්වරයා විශිෂ්ට කාර්ය භාරයක් ඉටු කළ බවයි.

සිය අත්දැකීම් ඇසුරෙන් මතු පරපුරට ප්‍රයෝජනවත් වන ග්‍රන්ථයක් පළ කරන ලෙස විපක්ෂ නායකවරයා හිටපු මහලේකම්වරයාගෙන් ඉල්ලීමක් ද කළා. එසේම ව්‍යවස්ථාදායක සභාවේ ලේකම්වරයා ලෙස ඉදිරියේදී මෙහෙවරක් සිදුකිරීමට සුබ පතන බවයි ඔහු පැවසුවේ.

එසේම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද සුභාශිංශන එක් කරමින් පවසා සිටියේ ධම්මික දසනායක මහතාගේ විශිෂ්ට සේවය ප්‍රශංසනීය බවයි.

හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චමල් රාජපක්ෂ මහතා මෙහිදී අදහස් දැක්වූවා. ඔහු ප්‍රකාශ කර සිටියේ හිටපු මහලේකම්වරයාට පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සම්මේලනය ඇතුළු ජාත්‍යන්තර සම්මේලන සහ කටයුතුවලදී ඉහළ ගෞරවයක් සහ පිළිගැනීමක් හිමිවූ බවයි. එසේම පාර්ලිමේන්තුවට ගංවතුර පැමිණි අවස්ථාවකදී ඉටිපන්දම් එළියෙන් පාර්ලිමේන්තු කටයුතු සිදු කළ බවත් ඒ සෑම අභියෝගාත්මක අවස්ථාවකදීම එතුමා විශාල ශක්තියක් වූ බව හිටපු කථානායකවරයා සිහිපත් කළා.

අනතුරුව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරයන් රැසක් හිටපු මහලේකම්වරයාගේ සේවය අගය කරමින් සුබපැතුම් එක් කළා.

වෙසෙසින් පාර්ලිමේන්තුව තුළ පක්ෂ විපක්ෂ සෑම පාර්ශවයකින්ම ඇතැම් අවස්ථාවලදී එල්ලවන පීඩනය මනා ලෙස කලමනාකරණය කරගනිමින් අපක්ෂපාතීව ඍජුව කටයුතු කිරීමට එතුමාට හැකිවූ බවත් ඒ අනුව එතුමාගේ විශිෂ්ට සේවය ප්‍රශංසනීය බවත් බොහෝ මන්ත්‍රීවරයන් පෙන්වා දුන්නා.

හිටපු මහලේකම්වරයාගේ බිරිඳ වන නීතීඥ සලිනි නිල්මල්ගොඩ මහත්මිය, දරුවන් ඇතුළු ඥාතීන් පිරිසක් ද විශේෂ අමුත්තන්ගේ ගැලරියේ සිට මෙම අවස්ථාව නැරඹීමට එක්ව සිටියා.

හිටපු මහලේකම් ධම්මික දසනායක මහතා පිළිබඳ කෙටි හැදින්වීමක්..

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයෙන් සහ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති ධම්මික දසනායක මහතා සිය එල්.එල්.බී (නීතිඥ) සහ එල්. එල්. එම් (නීතිපති) උපාධි සම්පූර්ණ කළේ කොළඹ විශ්වවිද්‍යාලයෙනි. ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයෙක් වශයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව 1988 දී එතුමා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නීති උපදේශක (පර්යේෂණ) ලෙස පත්විය.

ධම්මික දසනායක මහතා රජයේ අධිනීතිඥයෙක් ලෙස 1989 වසරේ දී නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයට එක් වී ගාල්ල, කොළඹ, ගම්පහ, රත්නපුර, හලාවත, පානදුර, මීගමුව සහ අවිස්සාවේල්ල ඇතුළු මහාධිකරණ රැසකම රජය වෙනුවෙන් නඩු කටයුතු මෙහෙයවා තිබේ. තව ද, ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පවරන ලද මූලික අයිතිවාසිකම් කඩවීම් පිළිබඳ නඩු කටයුතු මෙන්ම ඇපැල් අධිකරණය ඉදිරියේ පවරන ලද අපරාධ නඩු අභියාචනා රැසක්ම සඳහා එතුමා රජය වෙනුවෙන් පෙනී සිට ඇත.

1994 දී, පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම්වරයා ලෙස සිය පාර්ලිමේන්තු වෘත්තීය දිවිය ආරම්භ කළ ධම්මික දසනායක මහතා, 2003 දී පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් ධූරයට පත් වූ අතර 2012 වසරේදී පාර්ලිමේන්තුවේ මහලේකම් ධූරයට උසස් විය.

දසනායක මහතා සිය දීර්ඝකාලීන පාර්ලිමේන්තු වෘත්තීය දිවිය තුළදී දේශීය සහ අන්තර්ජාතික ඇගයුමට ලක් වූ රාජ්‍යතාන්ත්‍රික කටයුතු රැසකට දායක වී ඇති අතර එතුමා අන්තර් පාර්ලිමේන්තු සංගමයේ (IPU), පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ (CPA) සහ සාර්ක් පාර්ලිමේන්තු සංගමයේ සමුළු බොහෝ ගණනක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කොට තිබේ.

පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ පාර්ලිමේන්තු මහ ලේකම්වරයන්ගේ සංසදයේ දකුණු ආසියානු කලාපය නියෝජනය කරමින් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකත්වය ද, 2010 – 2012 කාලවකවානුවේ දී දකුණු ආසියානු කලාපීය මහලේකම්වරයන්ගේ සංසදයේ ලේකම් ධුරයද, සාර්ක් කථානායකවරයන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සංසදයේ ලේකම්වරයා වශයෙන් ද කටයුතු කර ඇත. එසේම, පොදුරාජ්‍ය මණ්ඩල පදනම විසින් 2000 වර්ෂයේ දී පාර්ලිමේන්තු පරිපාලන කටයුතු සඳහා වූ අධිශිෂ්‍යත්වයක් ද දසනායක මහතා වෙත පිරිනමා ඇත.

ධම්මික දසනායක මහතා වසර 29ක පාර්ලිමේන්තු සේවා කාලයක් සපුරමින් 2023.05.22 දින විශ්‍රාම දිවියට එළඹෙන්නේ ශ්‍රී ලංකා ප්‍රජතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ 06 වැනි මහ ලේකම්වරයා ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?