පාකිස්තාන පාලනය යටතේ පවතින කාශ්මීරයේ කලාපීය මැතිවරණයේ තෙවැනි වටය ආරම්භ වුවද, ඡන්ද ප්‍රමාදයන් සහ දැඩි ආරක්ෂක ගැටලු හේතුවෙන් මැතිවරණ ක්‍රියාවලිය දැඩි අර්බුදයකට ලක්ව තිබෙනවා.
සති කිහිපයකට පෙර ප්‍රදේශය පුරා ඇති වූ ප්‍රචණ්ඩ විරෝධතා හේතුවෙන් මාර්ග වසා දැමීම සහ අන්තර්ජාල සේවා සීමා කිරීම ඇතුළු දැඩි පියවර ගෙන තිබූ අතර, එම තත්ත්වය මැතිවරණයටද බලපා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබූ මැතිවරණ කොට්ඨාස 11කින් හතක ඡන්ද විමසීම ආරක්ෂක තත්ත්වය සම්බන්ධ වාර්තාවක් සලකා බලා බලධාරීන් විසින් කල් දමා තිබෙනවා.
නව දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.
මීට පෙර පැවති වට දෙකේදී ආසන 34කින් 24ක් ජයගත් පාලක පාකිස්තාන මුස්ලිම් ලීග් – එන් පක්ෂය කලාපීය ආණ්ඩුව පිහිටුවීමට සූදානම් වන අතර, එම පක්ෂයට මැතිවරණ වංචා චෝදනාද එල්ල වී තිබෙනවා.
ප්‍රධාන තරගකාරී පක්ෂය වන පාකිස්තාන මහජන පක්ෂය එම චෝදනා එල්ල කරමින් ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක ඡන්ද විමසීම ප්‍රමාද වූ බව පවසනවා.
එහෙත් පාලක පක්ෂය එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.
හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පාකිස්තාන තෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂයට සම්බන්ධ අපේක්ෂකයන් ද මැතිවරණ වංචා චෝදනා හේතුවෙන් ඡන්ද විමසීම වර්ජනය කර තිබෙනවා.
මේ අතර, මෑතකදී ඇති වූ ප්‍රචණ්ඩ විරෝධතාවලින් පුද්ගලයන් 30කට වැඩි පිරිසක් මියගොස් ඇති බව විරෝධතාකරුවන් පවසනවා.
විරෝධතා මෙහෙයවූ ඒකාබද්ධ අවාමි ක්‍රියාකාරී කමිටුවට පසුගිය ජුනි මාසයේදී කලාපීය රජය විසින් තහනමක් පනවා තිබුණා.
මැතිවරණ අර්බුදයේ මූලික ගැටලුවක් වී ඇත්තේ කාශ්මීරයේ ව්‍යවස්ථාව යටතේ ඉන්දියානු පාලනය යටතේ පවතින කාශ්මීරයෙන් පැමිණි සරණාගතයන් සඳහා වෙන්කර ඇති ආසන 12ක්.
එම ආසන බොහෝවිට කලාපයෙන් පිටත ජීවත් වන පුද්ගලයන් විසින් පුරවන බවට විරෝධතාකරුවන් චෝදනා කරන අතර, එමගින් ඉස්ලාමාබාද් බලධාරීන්ට කලාපීය දේශපාලනයට බලපෑම් කිරීමට හැකි බව ඔවුන් පවසනවා.













