ප්‍රාථමික සෞඛ්‍ය සේවයට මුල් තැන දෙමින් 2026 අයවැයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නව පරිවර්තනයක්

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත් වුණා.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින දෙපාර්තමේන්තු 04ක ආයතන 41ක් වෙනුවෙන් වෙන් කෙරුණු ප්‍රතිපාදන සහ ඒ යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතින්හි ප්‍රගතිය මෙහිදී පුළුල් ලෙස විමසා බැලුනා.

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඉහළ නැංවීම වෙනුවෙන් ඉදිරි අයවැයෙන් විශේෂ අවධානය යොමු කරන ලෙස මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන සංවර්ධනය කිරීමට දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳවද විමසා බැලුවා.

දැනට පුද්ගලයන් 30,000කට 01ක් වශයෙන් ක්‍රියාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවාව පුද්ගලයන් 10,000 කට 01ක් වන අයුරින් සංවර්ධනය කිරිමට සැලසුම් කර තිබෙන බව මෙහිදී අනාවරණය කෙරුණා.

වත්මන් තාක්ෂණික සහ සමාජයීය තත්ත්වයන්ට සාපේක්ෂව සෞඛ්‍ය සේවාව සංවිධානාත්මක සහ ව්‍යුහාත්මක වෙනස්කම්වලට භාජනය කිරීමේ සැලසුම් පිළිබඳව මෙහිදි සාකච්ඡා කෙරුණු අතර, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සැපයීම සහ එහිදී මතුව ඇති ගැටලු පිළිබඳවද අවධානය යොමු වුණා.

දැනට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති ප්‍රධාන ගැටලුවක් වන උපකරණ මිලදී ගැනීමේදී, ආයුර්වේද ක්ෂේත්‍රයද ඇතුළත්වන පරිදි ප්‍රසම්පාදන මාර්ගෝපදේශ යාවත්කාලීන කිරීම පිළිබඳවත්, ඖෂධ නියාමන අධිකාරිය විසින් ඖෂධ මිලදී ගැනීමේ දී ඖෂධවල ගුණාත්මකභාවය සහතික කිරීමට අදාළ පහසුකම් වැඩි දියුණු කිරීමේ සැලසුම් පිළිබඳවත් සාකච්ඡා කෙරුණා.

ජාතික රුධිර පාරවිලන සේවය ආදී සේවාවන් සඳහා අත්‍යාවශ්‍ය වාහන මේ වසරේදීම මිලදී ගැනීමට උපරිමයෙන් කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නා.

නවීන තාක්ෂණය සහ ජනගහනය ඉහළ යාමට සාපේක්ෂව සෞඛ්‍ය සේවයේ භෞතික සම්පත් මෙන්ම මානව සම්පතද පරිවර්තනයකට ලක් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන් අතර ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් සහ උපායමාර්ගික සැලැස්මක් ලබන වසරේ එළිදැක්වීමට නියමිත බව මෙහිදී සඳහන් කෙරුණා.

විදේශ ආධාර සහ ප්‍රදාන යටතේ හිමි වන ප්‍රතිපාදන නිසි අයුරින් භාවිත කරමින් ඒවායේ අපේක්ෂිත ප්‍රතිලාභ ජනතාවට ලබාදීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

එහිදී පළාත් සභා මට්ටමින් මතුව ඇති ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමටද යෝජනා වුණා.

තවද සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව සිදුකරන ප්‍රදානයන්හි විශ්වාසනීයත්වය තහවුරු කිරීම පිළිබඳවද අවධානය යොමු කෙරුණු අතර, ඒ අනුව ප්‍රදානයන් ලබාදෙන පුද්ගලයන් සහ ලබාගන්නා අයට එහි විශ්වාසනීයත්වය තහවුරු වන අන්දමේ ඩිජිටල් ක්‍රමවේදයක් සකස් කිරීමට ද යෝජනා වුණා.

දැනට දිවයිනේ ස්ථාන 272ක ක්‍රියාත්මක සුවසැරිය ගිලන් රථ සේවාව තවදුරටත් පුළුල් කරමින් ස්ථාන 400ක් දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවද මෙහිදී අනාවරණය වුණා.

ජනමාධ්‍ය අමාත්‍යාංශයට අදාළ ඉදිරි සැලසුම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, සමාජ ආකල්ප වර්ධනය සඳහා මැදිහත්වීම රාජ්‍ය මාධ්‍යයේ වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක පෙන්වා දුන්නා.

එබැවින් රාජ්‍ය මාධ්‍ය සමාජ ආකල්ප පරිවර්තනයට දායක කර ගැනීමට අදාළ සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා ඒ සඳහා ලබන අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කරන බව සඳහන් කළා.

තැපැල් සේවාව වර්තමානයට ගැළපෙන අන්දමින් යාවත්කාලීන කිරීම පිළිබඳවද පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර කුරියර් සේවා වැනි සේවාවන් නවීන තාක්ෂණයට අනුව පරිවර්තනයන්ට ලක් කරමින් තැපැල් සේවාව නව මාදිලියකට ගෙන ඒමේ අවශ්‍යතාවද අවධාරණය කෙරුණා.

මීට පෙර මතුව තිබු ගැටලුව වන්නේ අවශ්‍ය ව්‍යාපෘති වෙනුවෙන් අයවැය ප්‍රතිපාදන නොලැබීම බවත්, එම තත්ත්වය වෙනස් කරමින් පසුගිය අයවැයෙන් සියලු ක්ෂේත්‍ර සඳහා ප්‍රමාණවත් පරිදි ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් මෙහිදී පෙන්වා දුන් ජනාධිතිවරයා එම සියලු ප්‍රතිපාදන අදාළ මූල්‍ය වර්ෂය තුළ නියමිත ව්‍යාපෘති සඳහා නිසි ලෙස යොදවමින් ජනතාවට එහි උපරිම ප්‍රතිලාභ අත්කර දීමේ වැදගත්කමද අවධාරණය කළා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන රසල් අපොන්සු, කපිල ජනක බණ්ඩාර යන අය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34