තරගය අතර තුර විනය විරෝධී හැසිරීම හේතුවෙන් ශ්‍රි ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියට තරයේ අවවාද කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර වූ සිදුවීමකට අදාළව, මෙම අවවාද කිරීම සිදුකර ඔහුගේ නමට අසාදු ලකුණක් එක් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
තරගයේ තෙවන දිනය වූ ඊයේ (24) දිනයට තරගය නිමා වීමට ආසන්නව තිබියදී ප්‍රභාත් ජයසූරිය දැවී ගිය අතර, ඔහු ක්‍රීඩක විවේකාගාරය වෙත යන අතරතුර තම පිත්තෙන් සීමා මායිම් ආවරණ වෙත පහරදීම හේතුවෙන් තරග නීති උල්ලංඝනය කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ, අනුව ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහායක පිරිස් සඳහා වන ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.2 වගන්තිය ජයසූරිය උල්ලංඝනය කර ඇති බව සඳහන් කරමින් මෙම අවවාද කිරීම සහ අසාදු ලකුණ ප්‍රභාත් ජයසූරියට එක්කර තිබෙනවා.
මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එල්ල කරන චෝදනාව ප්‍රභාත් ජයසූරිය විසින් පිළිගෙන තිබුණා.













