spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රතිජීවක ඖෂධ නිසා ශ්‍රී ලංකාවේ වසරකට මරණ 2,800ක්

ඇන්ටිබයොටික් හෙවත් ප්‍රතිජීවක ඖෂධ හේතුවෙන් වාර්ෂිකව ලොව පුරා මිනිස් ජීවිත ලක්ෂ හතක් අහිමි වන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

මැලේරියා, ඩෙංගු, වැනි රෝග මර්දනය සදහා අවධානයක් යොමු කරනවා සේම ප්‍රතිජීවක ඖෂධ මගින් වන භයානක තත්ත්වයන් සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

“ලෝක ප්‍රති-ක්ෂූද්‍රජීවක ඖෂධ පිළිබඳව දැනුවත් වීමේ සතිය” වෙනුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීකයින්, පරිපාලකයින් හා වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල දැනුවත් කිරීමේ විශේෂ සම්මන්ත්‍රණයක් අමාත්‍ය රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

“සැවොම එක්වී ප්‍රති-ක්ෂූද්‍රජීවක ප්‍රතිරෝධය වළක්වමු” යන්න තේමා කරගනිමින් මෙම උත්සවය සංවිධාන කර තිබුණේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) ප්‍රමුඛ අංශය විසිනුයි.

ප්‍රති-ක්ෂූද්‍රජීවක ඖෂධ සඳහා ක්ෂූද්‍ර ජීවින් තුළ ප්‍රතිරෝධය ඇතිවීම ගෝලීය සෞඛ්‍යට සහ සංවර්ධනයට තර්ජනයක් බවට පත්වී තිබෙනවා.

ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මානව වර්ගයා මුහුණ දෙන ප්‍රධානතම සෞඛ්‍ය ගැටලු 10 අතරින් එකක් ලෙසටයි ප්‍රතිජීවක ඖෂධ කෙරෙහි ක්ෂූද්‍ර ජීවින් තුළ ප්‍රතිරෝධය ඇතිවීම හඳුනාගෙන ඇත්තේ.

සෑම වසරකම ලොව පුරා රටවල්වල සෞඛ්‍ය අංශ නොවැම්බර් මස 18 සිට 24 දක්වා මෙම සතිය සෞඛ්‍ය වෘත්තිකයින් හා ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා අතර එම සතිය තුළ ඊට අදාළ වැඩසටහන් ද ක්‍රියාත්මක කරනු ලබනවා.

ඒ අනුව කටයුතු කරමින් මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද මෙම විශේෂ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය ඇමතූ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පෙන්වා දුන්නේ වාර්ෂිකව ලොව පුරා මිනිස් ජීවිත ලක්ෂ හතක ප්‍රමාණයක් ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධය හේතුවෙන් අහිමි වන බවයි. ශ්‍රී ලංකාවේ එය වසරකට දෙදහස් අට සියයක් පමණ වන බව අනාවරණය වී ඇති අතර තවත් ජීවිත පන්දහසක් පමණ ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධය ආශ්‍රිත වක්‍රාකාර හේතු නිසා වාර්ෂිකව අහිමි වන බවද අවධාරණය කළා.

මැලේරියා, ඩෙංගු, බරවා වැනි රෝග මර්දනය සඳහා සෞඛ්‍ය කණ්ඩායම් වැඩි අවධානයක් යොමු කරනවා සේම මෙම ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධය නිසා ඇතිවී ඇති භයානක තත්ත්වය සම්බන්ධයෙන් ද වැඩි අවධානයකින් කටයුතු කිරීම අත්‍යවශය බවත්, ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධය සම්බන්ධයෙන් ක්‍රියා කරනු ලබන පාර්ශවකරුවන් අතර එකඟතාවයෙන් අවශ්‍ය ඉදිරි පියවර ගනිමින් ද, ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධය සහ අදාළ ගැටළු සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය දිශානතියක් වර්ධනය කර ගැනීම කාලෝචිත ක්‍රියාවක් බව ද ඔහු පෙන්වා දුන්නා.

මෙම විෂය සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නංවාලීමට ලෝක සෞඛ්‍ය සංවිධානය දක්වන නොසැලෙන කැපවීමට විශේෂ ස්තූති කළ අමාත්‍යවරයා කියා සිටියේ ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධය මැඩපැවැත්වීම සඳහා සියලුම පාර්ශවයන් එකඟතාවකින් ක්‍රියාකාරීව කටයුතු කළ යුතු අතර ප්‍රතිජීවක ඖෂධ අතාර්තික ලෙස නිර්දේශ කිරීම සහ අවභාවිතා කිරීම වලක්වා මෙම ව්‍යසනයෙන් අප ආරක්ෂා කරගැනීම අනිවාර්යයෙන් සිදු කළ යුතු කාර්යයක් බවයි.

ප්‍රතිජීවක ප්‍රතිරෝධය පාලනය කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළ ප්‍රමුඛතාවයක්.

ප්‍රතිජීවක ප්‍රතිරෝධය ඇතුළු ක්ෂූද්‍රජීවී ප්‍රතිරෝධය පිළිබඳ ගෝලීය ක්‍රියාකාරි සැලැස්ම 2015 මැයි මාසයේ ලෝක සෞඛ්‍ය සමුළුවේදී ද අනුමත කර ඇති අතර එම සැලැස්ම මගින් බෝවන රෝග වැළැක්වීම සහ ප්‍රතිකාර කිරීම ආරක්ෂිත සහ ඵලදායි ඖෂධ මගින් සහතික කිරීම අනුමත කර තිබෙනවා.

2019 වසරේදී ලොව පුරා මරණ මිලියනකට අධික ප්‍රමාණයක් ඖෂධ ප්‍රතිරෝධී ආසාදන හේතු කරගෙන සිදුවී තිබෙනවා. එමෙන්ම මෙම තත්වය මැඩ පැවැත්වීම සඳහා සුදුසු කඩිනම් ක්‍රියාමාර්ග නොගතහොත් 2050 වසර වන විට ඖෂධ ප්‍රතිරෝධි ආසාදන හේතුවෙන් වසරකට මරණ මිලියන 10ක් පමණ සිදුවිය හැකි බවට ගණන් බලා තිබෙනවා.

ජීවිත හානිවලට අමතරව ඖෂධ ප්‍රතිරෝධි ආසාදන හේතුවෙන් දිගුකාලීන රෝගාබාධ, දිගුකාලීන රෝහල්ගත වීම්, ආබාධිත බව, මිල අධික වෙනත් ඖෂධ සඳහා අධික පිරිවැයක් දැරීමට හේතුවෙන් ආර්ථික බිඳවැටීම් වලට මුහුණ දීමට ද සිදු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?